News

මහ මෝල් හිමියන්ගේ වැඩ නිසා රටේ හාල් හිඟයක් එන්න පුළුවන්

මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් තොග සිල්ලර හා තොග වෙළෙඳුන්ට අලෙවි කිරීමේදී දිගින් දිගටම විවිධ කොන්දේසි පැනවීම නිසා ඉදිරි දිනවලදී රටේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවති.

රජය පසුගියදා නිකුත් කළ සහල් සඳහා උපරිම සිල්ලර මිල සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනයෙන් පසු මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී තිබෙන බවද ඔවුහු සඳහන් කරති.

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා නිකුත් කරන ලද එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ඒ ඒ සහල් වර්ග අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් නියම කෙරුණි.

මහා පරිමාණ වී මෝල් හිමියන් සහ වී තොග රැස් කරන්නන් අඩු මිලට ගත් වී කිලෝවක් රුපියල් 55ත් 58ත් අතර මිලකට සුළු මෝල් හිමියන්ට අලෙවි කිරීම නිසා සිය මෝල්වල වී නිෂ්පාදන කටයුතු නතර වී ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පවසති.

වී තොග නොමැති වීම හමු​වේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් පන්සීයක පමණ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇත.

සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න සහල් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, ‘‘පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය නිසයි සහල් අර්බුදය උග්‍ර තත්ත්වයට පත්වුණේ.

ඒ ඒ ප්‍රදේශවල ගොයම් කැපෙද්දීම මහා පරිමාණ වී මෝල් හිමියන් ඒ වී ටික මුදල් දීලා ගන්නවා. ඒ නිසා මහා පරිමාණ වී මෝල් හිමියන් ළඟ අවුරුද්දකට තරම් වී තොග තිබෙනවා.

රජය වී මිලදී ගන්නා ක්‍රමවේදයේ වැරැද්දක් තිබෙනවා. ඕනෑම කන්නයකදී මුලින්ම අස්වැන්න කැපෙන්නේ නාරම්මල, පොල්ගහවෙල ප්‍රදේශයේ ගොයමයි. දෙවනුව කුරුණෑගල පැත්ත. තෙවනුව තෝපූර්, මුතූර් ප්‍රදේශයේ ගොයමයි. ඊළඟට අනුරාධපුරේ. අනුරාධපුරය ළඟට ගොයම් කැපෙන්නේ පොළොන්නරුව, මැදිරිගිරිය සහ මහවැලි ප්‍රදේශයේයි.

රජය වී මිලදී ගැනීම ආරම්භ කරන්නේ මහවැලි කලාපයේ ගොයම් කැපෙද්දියි. එතකොට රටේ අනෙකුත් ප්‍රදේශවල වී කැපිලා මාස දෙකහමාරක් ගිහින් ඉවරයි. කවදාවත් කුරුණෑගල ගොවියකුට වී ටික වැඩි මිලට විකුණා ගන්න බෑ. මහා පරිමාණ වී මෝල් හිමියන් අඩු මිලට වී මිලදී ගන්නවා. පෙරහර ගියාට පස්සේ ආණ්ඩුව වී මිලදී ගැනීම ආරම්භ කරනවා.

දැන් වී මිල කිලෝවක් රුපියල් 50 දක්වා වැඩි වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වැඩි මිලට වී මිලදී ගනිද්දි මහා පරිමාණ වී මෝල් හිමියන් රටේ අනෙකුත් ප්‍රදේශවලින් අඩු මිලට වී තොග මිලදීගෙන අවසන්. මේ තත්ත්වය රජය තේරුම්ගත යුතුයි. මේ තත්ත්වය තුළ වෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් එක එක වැසී යෑමයි’’ යනුවෙන්ද බන්දුල ජයමාන්න පැවසීය.

 

උදයජීව ඒකනායක

සාලිය කුමාර ගුණසේකර