News

මහින්දගේ වැලි ඇප් එක

මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පසුගියදා මනම්පිටියේදී පැවසීය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි වැලි තොටුපොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇමැතිවරයා ඒ බව කීවේය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩදැමීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ වැලි සමාගම මගින් සිදුකළ ක්‍රමවේදය වෙනුවට වැලි මංකඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට (පෞද්ගලික මට්ටමින් වැලි ගොඩදැමීමට) උපදෙස් දුන් බවද ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මෙසේද කීවේය.

‘‘මහජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබුණා වැලි ගොඩදැමීමේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳව. වැලි සංගම්, ප්‍රවාහන සංගම් සහ රියැදුරු සංගම් සියල්ලම කොළඹ ගිහිල්ලා අපට මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කළා. ඒ සියලු අදහස් සැලකිල්ලට අරගෙන සඳුදා සිට මංකඩ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබාදීම සාධාරණ මිලකට වැලි ලබාදීමට ක්‍රමවේදයක් සැකසීමට අවශ්‍ය උපදෙස් දුන්නා. අපි අනාගතයේදී ඇප් එකක් හඳුන්වා දෙන්න යනවා. අතරමැදියන්ගෙන් තොරව ​හොඳ ප්‍රමිතියෙන් යුත් වැලි ගන්න. එතකොට කොහේ ඉඳලා වුණත් වැලි ඉල්ලුවාම කෙළින්ම ගෙදරට ගෙන්වා ගන්න පුළුවන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අයට වැලි ලබාදීමේ ප්‍රමුඛතාවක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවට කුඩා ලොරිවලට පවා මේ ස්ථානයෙන් වැලි ලබාදීමට කටයුතු කරනවා. වැලි කලවම් කරලා ලබාදෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාණය අඩුයි කියලත් පැමිණිලි ලැබෙනවා. ඒක වළක්වන්න තමයි ඇප් එකක් හඳුන්වලා දීලා අලුත් වැඩපිළිවෙළක් සකස් කරන්න යන්නේ. නියම ප්‍රමාණයෙන් සහ ප්‍රමිතියෙන් යුත් වැලි පාරිභෝගිකයාට ලබාදීමයි අපේ අරමුණ.’’

කේ.ජී. කරුණාරත්න-තමන්කඩුව

ටී.එල්. ජවුෆර් ඛාන්-මඩකලපුව