එකම මළසිරුරට කොවිඩ් වාර්තා දෙකක්
රෝහලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව නිවැසියන්ට ලබා දුන් මෘත දේහයක් පී.සී.ආර් පරික්ෂාවෙන් පසු කොවිඩ් බැව් තහවුරු වීමත් සමග යළිත් එය නිවසෙන් ගෙනගොස් ජාත්‍යන්තර නිරෝධායන නීති අනුව පන්නල ආදාහනාගාරයේදී පෙරේදා (03 වැනිදා) රාත්‍රියේ ආදාහනය කොට තිබිණි. මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි වළකුඹුරුමුල්ල ප්‍රදේශයේ 67 හැවිරිදි අයෙකි. මියගිය තැනැත්තා ඉකුත් 02 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදුව ඇති වූ බරපතළ තත්ත්වය මත රෝහල් දැඩිසත්කාර ඒකකයට මාරුකර සිටියදී පෙරේදා (03 වැනිදා) මියගොස් ඇත.
අදාළ මෘත දේහය ඥාතීන්ට භාරදී අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබියදී හදිසියේම පෙරේදා රාත්‍රියේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් පැමිණ මියගොස් ඇති තැනැත්තා වෙනුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහල මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත බවට වාර්තා ඇතැයි පවසා දේහය ආරක්ෂිතව පන්නල බෝපිටිය ප්‍රදේශයේ ආදාහනාගරයකට රැගෙන ගොස් ආදාහනය කර තිබේ.
මේ හේතුවෙන් අදාළ මෘතදේහයට අවසන් බුහුමන් දැක්වීමට පැමිණි අය, අවසන් කටයුතු සඳහා දේහය සූදානම් කළ මල් ශාලාවේ සේවකයන් ඇතුළු 120ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කරවීමට පන්නල සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
එමෙන්ම මියගිය පුද්ගලයා සමීපව ඇසුරු කළ අනෙකුත් පිරිස් සොයායෑම දැඩි අසීරු බැවින් අදාළ ප්‍රදේශයේ සංචරණ සීමා පවා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
එසේ පී.සී.ආර් පරීක්ෂාවක් සිදුකර තිබියදී එහි ප්‍රතිඵල ලැබීමට මත්තෙන් මෘත දේහය ලබාදීම පිළිබඳව අප කළ විමසුමේදී කුලියාපිටිය රෝහල් අධ්යක්ෂ ප්‍රභාත් වේරවත්ත පැවසූයේ රෝගියා හදවත් සැත්කමකට සූදානම් කර තිබූ අයෙකු බවත් රෝහල් ගත කිරීමට සති තුනකට මත්තෙන් පෞද්ගලික රෝහලකින් එන්ජියෝග්‍රෑම් පරීක්ෂාවක් සිදුකර එහිදී පී.සී.ආර් පරීක්ෂාවකට පවා ලක්කර තිබූ අයෙකු බවත්ය.
ඉකුත් 2 දා මෙම රෝගියා ඇතුළත් කළද තත්ත්වය බරපතළ වූයෙන් දැඩිසත්කාර ඒකකයට යොමු කිරීමෙන් අනතුරුව රෝගියා පෙරේදා (03 වැනිදා) මියගොස් ඇති බව කාර්ය මණ්ඩලය තමන් දැනුම්වත් කළ බවත් එහිදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී රෝගියා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීමත් රෝගියාගේ ඉතිහාස රෝග වාර්තා ආදිය පිරික්සීමේදී කොවිඩ් රෝග ලක්ෂණ නොවීමත් නිසා දේහය මුදාහැර ඇති බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් මාලාව අනුව මෘත දේහයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාව කඩිනමින් මහනුවරට පිටත් කළද එහි ප්‍රතිඵල මියගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමග කඩිනමින් වසංගත රෝග අංශ හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඇතුළු සියලුම ස්ථාන දැනුවත් කිරීමට පියවරගත් බවත් පැවසූ රෝහල් අධ්යක්ෂවරයා ඊයේ පෙරවරුවේ අදාළ රෝගියාට ප්‍රතිකාර කළ සියලුම පිරිස් සමග කළ සාකච්ඡාවේදී රෝහල් කාර්ය මණ්ඩලය අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ නිසා රෝහල හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් අවදානමක් නොවන බවත් පැවසීය.
මනුසත් සේරසිංහ – කුලියාපිටිය
