News

මාවනැල්ලේ පිළිම කැඩු 34 ක් යලි රිමාන්ඩ්

මාවනැල්ල හා තදාසන්න ප්‍රදේශ ගණනාවක තිබු බුදු පිළිම වහන්සේලා අට නමකට හා එක් දේව ප්‍රතිමාවකට පහරදී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 34 දෙනා තවදුරටත් ජුලි 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා ඊයේ 13 දා නියෝග කළේය.
ඊයේ 13 දා සැකකරුවන් නඩුවට ඉදිරිපත් කිරීමට කෑගල්ල බන්ධනාගාරයේ සිට හා මහනුවර පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් බස් රථ දෙකකින් විශේෂ ආරක්ෂාවක් යටතේ මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
ඒ වන විට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ  ප්‍රධාන දොරටුව හා අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂාව තද කර තිබුණු අයුරු දක්නට ලැබුණි.
කොරෝනා වසංගතය හෙතුවෙන් පළමුව මහනුවර පල්ලේකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවන් 11 දෙනා හා සැකකාරින් තිදෙනා ඇතුළු 14 දෙනා අධිකරණයේ සිර මැදිරියට රැගෙන ගිය අතර පසුව ඔවුන් සිර මැදිරියේ සිටියදී පිළිවෙලින් නඩුවට කැද විය.
පසුව ඔවුන් බන්ධනාගාර බස් රථයට රැගෙන යාමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් 20 දෙනා අධිකරණයේ සිර මැදිරිය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිළධාරින් කටයුතු කෙරිණ.පසුව ඔවුන් ද සිර මැදිරියේ සිටියදීම නඩුව කැදවීමට කටයුතු කෙරිණ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා අධිකරණයට දන්වා සිටියේ සහරාන් ජාත්‍යන්තරය සමග පවත්වා ඇතැයි කියන සම්බන්ධතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය සී,ඩී තැටි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත් එම තැටි දෙක අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් දැන්විය.
මෙම තැටි දෙකක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමු කොට සිංහල භාෂාවෙන් තැටි දෙකක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළේය.
තවද සැකකරුවන් විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ වායු රයිෆල් අලෙවි සැලකින් මිලට ගෙන තිබු රයිෆල් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
පසුව මහෙස්ත්‍රාත්වරයා සී,ඩී තැටි දෙක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කොට සිංහල තැටි දෙකක් ලබා ගැනීම නියෝගයක් නිකුත් කෙරිණ. වායු රයිෆල් දෙක අධිකරණයේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් සිටින නිළධාරියාට භාර දෙන ලෙසත් නියෝග කෙරිණ.
පසුව සැකකරුවන් 34 දෙනා ජුලි 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් දෙදෙනෙකු පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙක් හා එක් නීතිඥවරියක් අධිකරණයේ පෙනී සිටියේය.
2018 දෙසැම්බර් 21 දා සිට 24 දා දක්වා මාවනැල්ල හා තදාසන්න ප්‍රදේශ ගණනාවක මංසන්ධිවල ඉදිකර තිබු බුදු පිළිම වහන්සේලා අට නමක් හා එක් දේව ප්‍රතිමාවක් යම් කිසි පිරිසක් විසින් පහරදී අලාභහානි සිදු කර තිබුණි.
පසුව 24 දා අළුයම මාවනැල්ල හිගුල දෙල්ගහගොඩ ප්‍රදේශයේ බුදු පිළිමයකට තිදෙනෙක් යතුරු පැදියකින් පැමිණ පහරදී අලාභහානි සිදු කර පලා යාමට උත්සහ දරණ අවස්ථාවේ දී ගම්වාසී තරුණ පිරිසක් විසින් එක් පුද්ගලයෙකු අල්ලා ගස් බැද මාවනැල්ල පොලිසියට භාර දී තිබුණි.
පසුව සෙසු සැකකරුවන් අවස්ථාව ගණනාවකදී විවිධ ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී දැනට සැකකරුවන් 06 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රදවාගෙන ඇති අතර ඔවුන් අගොස්තු 31 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 34 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
යුවලක් ඇප මත නිදහස් කර ඇත. නඩුවට සම්බන්ධ මුළු සැකකරුවන් සංඛාව 45දෙදෙනෙකි.
සාලිය ගුණසිංහ