මුඛ පිළිකාව හේතුවෙන් දිනකට තිදෙනෙක් මියයනවා
වළක්වා ගැනීමට මෙන්ම මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට තිදෙනෙක් මුඛ පිළිකාව හේතුවෙන් මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.
ඊයේ (27දා) දිනට යෙදෙන ‘ලෝක හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය’ වෙනුවෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේය.
මුඛ පිළිකාව පහසුවෙන් වළක්වාගැනීමට හැකියාව පැවතියද නව රෝගීන් 06 දෙනෙකු දෛනිකව වාර්තා වන බවට එහිදී පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරිය, අදාළ රෝගීන්ගෙන් 70%ක් ප්‍රතිකාර සඳහා පැමිණන්නේ මුඛ පිළිකාවේ අසීරු අවසන් අදියරට පැමිණීමෙන් පසුව වන බවත්, ඒ අනුවඑම අදියරේදී ප්‍රතිකාර කිරීම ඉතා අපහසු වන බවත් අවධාරණය කර සිටියාය.
ශ්‍රී ලංකාවේ බහුලතම පිළිකා අතර දෙවැනි ස්ථානය මුඛ පිළිකාවයි. එසේම ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකා වර්ගය වන්නේද මුඛ පිළිකාවයි.
කාන්තාවන් අතර බහුලව හමුවන පිළිකා දහය අතරට ද මුඛ පිළිකාව අයත්.
දුම්පානය, බුලත් විට සැපීම දුම්කොළ හා පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය මෙන්ම මත්පැන් පානයද මුඛ පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා සඳහා ප්‍රධාන අවදානම් කාණ්ඩ ලෙස වතු කම්කරුවන්, රියදුරන්,ධීවරයන්, පතල් කරුවන්, ගොඩනැගිලි තනන්නන්, පුද්ගලික ආරක්ෂක සේවාවන්හි නිරතවන්නන් හා මුරකරුවන් හඳුනාගෙන තිබෙනවා.
මෙම අවදානම පුරුදු සහිත අයවලුන් හෝ අවදානම කාණ්ඩයන්හි පුද්ගලයන් විශේෂයෙන් මසකට වරක් හෝ ස්වයං මුඛ පරීක්ෂාවක් සහ මාස හයකට වරක් සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගැනීම අත්‍යවශ්‍යයි.
මුඛය තුළ අසාමාන්‍ය වර්ධනයක්, සති දෙකකට වඩා පවතින සුව නොවන තුවාලයක්, සුදු ලප,රතු ලප හෝ සුදු-රතු ලප මිශ්‍ර ලප, සාමාන්‍ය රෝස පැහැය වෙනුවට පවතින අසාමාන්‍ය සුදුමැලි ස්වභාවය, මුඛය විවර කිරීමේ අපහසු බවක් හෝ දිවේ චලනය සීමාවීම, මිරිස් සහිත ආහාර ගන්නා විට මුඛයේ ඇතිවන අසාමාන්‍ය දැවිල්ල මුඛ පිළිකා සම්බන්ධව අනතුරු ඇඟවීමේ සංඥා විය හැකිය.
