News

මුහුදු පතුලේ කිමිදුනු නාවික හමුදාපතිට දියකිඳුරියන් දෙදෙනෙකු උදව්වට එයි

දිය යට ලෝකයේ අද්භූත අත්දැකීමක් විදින්නට මෙරටදී ඉදිකල පළමු සමුද්‍ර කෞතුකාගාරය ගාල්ලේදි විවෘත වන්නේ ශ්‍රී ලංකා නාමය යළි ජාත්‍යන්තරය වෙත ගෙනයමින්ය.

ගාලු කොටුවේ සිට මීටර් 800ක් ඈත මුහුදේ ගැඹුරින් අඩි පනහක් යට මුහුදු පත්ලේ මෙම කෞතුකාගාරය විවෘත වීම විශේෂත්වය විය.

එහි අත්දැකීම විදින්නට නම් සැබවින්ම කිමිදුම්කරුවෙකු සේ මුහුදු පත්ලේ කිමිදි යායුතුය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිටින දක්ෂතම මෙන්ම අත්දැකීම් වැඩි කිමිදුම් කරුවා වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින්ම මුහුදු පත්ලේ කිමිදි දියයට කෞතුකාගාරය විවෘත කිරීම විශේෂත්වය විය. පීත්ත පටි කපා උත්සවශ්‍රියෙන් මෙම කෙ$තුකාගාරය විවෘත කිරීම නැවුම් අත්දැකීමක් විය.

මහා පරිමාණ ඉදිකිරීම් වලදී ඉවත් කරන කොන්ක්‍රීට් තට්ටු හා යකඩ මත මූර්ති හා පිළිම නෙලා දොඹකර ආධාරයෙන් මුහුදු පත්ලේ තැන්පත් කරන්නේ සුවිශේෂී මෙහෙයුමකිනි.

ලොව මෙවන් කෞතුකාගාරයක් අත්දැකීම් විදින්නට හැකිවූයේ මෙක්සිකෝහි ක්‍රන්චූන් මුහුදු ප්‍රදේශයේ පමණි.

මීට පෙර පැරණි නෞකා හා ප්‍රභූවරුන් භාවිතාකල වෙඩි නොවදින වාහන ගිල්වා දමමින් මීගමු මුහුදු තීරයේ කිමිදුම්කරුවන්ට මුහුදු පත්ලේ අත්දැකීම් ලබන්නට නාවික හමුදාවට හැකිවිය. නාවික හමුදාපතිවරයා එම වෑයමෙන් පසුව මුහුදු කෞතුකාගාරය ඉදිකරන්නට යොමුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ කල යෝජනාවක් මුල්කරගෙනය.

ඉවත ලද කෝච්චි පෙට්ටි හා ධීවර යාත්‍රා යොදාගෙන මෙවැනි දෙයක් කරන ලෙසත් ඒමගින් ධීවර හා සංචාරක කර්මාන්තයේ නියැලි සිටින්නන්ට එය කිමිදුම්කරුවන්ගේ තෝතැන්නක් කරදිය හැකි බවත් අගමැතිවරයා කළ යෝජනාව මල්ඵල ගැන්වීමට පටන්ගන්නේ ජනවාරි මාසයේදීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ අනුමැතිය මත කිමිදුම් අංශයේ නාවිකයන්, සිවිල් ඉංජිනේරුවන් පනහක පමණ

දායකත්වයෙන් මෙම සමුද්‍ර කෞතුකාගාරයේ වැඩකටයුතු ඇරඹෙන්නේ ජනවාරි 15දා පටන්ය. මාර්තු විසිවනදා වනවිට මෙහි තැන්පත් කිරීමට සැකසූ මූර්ති හා පිළිම නෙලා අවසන් කරගත හැකිවිය. අප්‍රේල් 05දා වනවිට සියලු කටයුතු අවසන් කල යුතු විය.

දක්ෂින නාවික කදවුරේදී මූර්ති ශිල්පීන් අතින් මෙම මූර්ති ඉදිකලේ අයි.සී.සී. ඉදිකිරීම් සමාගම ලබාදුන් ඉවතලන කොන්ක්‍රීට් කමිටු හා ඉන්සී සමාගම ලබාදුන් සිමෙන්ති යොදාගෙනය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා