News

මූල්‍ය සහ ලීසිං සමාගම් අක්‍රමිකතා සොයන්න මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණ්ධීර මහතා එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී.කුමාරසිරි සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කරිමේ අංශයේ අධ්‍යක්ෂක ජේ.පී.ගම්ලත් සෙසු සාමාජිකයන් වෙයි.

මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදු කරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යපාර කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදු කරන සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සොයා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ලබාදෙන ලෙසට මෙම කමිටුවට දන්වා ඇත.

එහි වාර්තාව දින 14ක් තුළ ලබාදිය යුතු අතර මහ බැංකුවේ අධිපතිවරයා විසින් නියෝග කර ඇත්තේ බැංකු ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් සහ වෘත්තිකයන් සම්බන්ධ කර ගෙන මෙම වාර්තාව දින 14ක් තුළ ලබා දෙන ලෙසයි.