News

මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍යයි

පොදු ප්‍රවාහනයට අදාළ ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි මස පළමු වැනිදා සිට බස් ගාස්තු 1.5%කින් ඉහළ දැමීමට ලබන අටවැනි සඳුදා දින රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා බස් රථ සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

සාමාන්‍යයෙන් වසරකට එක් වතාවක් බස් ගාස්තු සංශෝධනයට ඉඩදී ඇති බවත් එය වසර මැද සිදුවන බවත් හෙතෙම මෙහිදි කීය. කොරෝනා වසංගතය හේතුවෙන් ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය පාඩු ගෙන දෙන්නක් බව කී ප්‍රධාන ලේකම්වරයා එබැවින් මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව විෂය භාර ඇමැති මහින්ද අමරවීර, මාර්ගස්ථ මගී ප්‍රවාහන කොමිසම සහ ජාතික ගමනාගමන කොමිසම දැනුවත් කරන බව සඳහන් කළේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

‘‘දැනට පවතින බස් ගාස්තු සකසා ඇත්තේ ආසන සංඛ්‍යාවට මගීන් ඇතුළුව තවත් 25%ක් රැගෙන යාමට සාපේක්ෂව. ඒ අනුව කිලෝමීටරයකට ලැබෙන මුදල මෙතනදි සලකලා තියෙනවා. ආසන ගාණට මගීන් දැනට පවතින ගාස්තුවට ගෙනයන්න අමාරුයි. මේ වන විට පුද්ගලික බස් රථ 40%ක් විතර ධාවනය වෙනවා. ප්‍රවාහනය සාමාන්‍ය අතට පත්වීමේදී පෞද්ගලික බස් රථ සියල්ලම ධාවනය විය යුතුයි. අපිත් කැමතියි ආසන ගාණට මගීන් ගෙන යන්න. එය අපටත් පහසුයි. ජනතාවටත් පහසුයි. නමුත් බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයි.

ශිරන්තනී මානවඩු