News

යාපනයේ ටින් බෝම්බයක් පිපිරී පොලිස් නිලධාරියකුට තුවාල

යාපනය නාගර්කෝවිල්හි පොලිස් මාර්ග බාධකයක රාජකාරි කළ පොලිස් කණ්ඩායමක් ඉලක්ක කරමින් ඊයේ (27 වැනිදා) උදෑසන සිදුවූ පිපුරුමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඊයේ (27 වැනිදා) උදෑසන 7.30ට පමණ වල්ලිපුරම්, මතල්කාඩු බෝගහහන්දියේ මාර්ග බාධකය අසල ටින් බෝම්බයක් යොදාගෙන මෙම පිපුරුම කර ඇතැයි පොලිසිය කියයි. පිපුරුමෙන් තුවාල ලබා ඇත්තේ පේදුරුතුඩුවට අනුයුක්තව සේවය කළ ටී.ටී. ප්‍රනාන්දු (90230) නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. මේ වන විට ඔහු පේදුරුතුඩුව, මන්තිකායි රෝහලට ඇතුළත් කර ඇත. පිපුරුමෙන් මෙම පොලිස් නිලධාරියාගේ දකුණු කකුලේ පහළ කොටසේ හා අතකට සුළු තුවාල සිදුවී ඇත.

කිසියම් පිරිසක් විසින් රතිඤ්ඤාවලට යොදන වෙඩිබෙහෙත් හා විදුලි බුබුළක ​කොටස් ආධාරයෙන් ටින් බෝම්බයක් සකස් කර පුපුරුවා හැර ඇතැයි පේදුරුතුඩුව පොලිසිය කියයි.

මෙම ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරම් බහුලව සිදුවන නිසා යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්නගේ නියෝග මත පේදුරුතුඩුව පොලිසිය දිගින් දිගටම වැටලීම් සිදුකර ඇත. මීට අමතරව වැලි ලොරි පරීක්ෂා කිරීමට යෙදූ මාර්ග බාධකයේදී ලොරි පරීක්ෂා කර ඇත.

ඊයේ (27 වැනිදා) උදෑසන උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනකු මෙම මාර්ග බාධකයේ පැමිණ රාජකාරියේ යෙදී සිටින අතරේ මෙම පිපුරුම සිදුවී තිබේ. මෙවැනි පිපුරුමක් පොලිසිය ඉලක්ක කරගෙන කරන්නට පෙලඹවූයේ කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශන කණ්ඩායම් සොයා බලන බව පොලිසිය කියයි. සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර මෙය වැලි ජාවාරම්කරුවන් කළ දෙයක් බවට ද සැක කෙරේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

මාධව කුලසූරිය – වවුනියාව