රක්ෂිතය වගා බිමක් කරන්න ඌවේ දේශපාලනඥයන් වළි කයි
කොවිඩ් 19 නව කොරෝනා වෛරසය දිවයින පුරා පැතිර යාම පාලනය කිරීම සඳහා රජය විසින් ඇඳිරිනීතිය පනවා තිබියදී, ඇතැම් දේශපාලනඥයන් මැදිහත්ව හොර රහසේ වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රදේශ එළි පෙහෙළි කරගෙන යනු ලබයි.
ඇඳිරිනීතිය අස්සේ අද වන විට කතරගම කැලෑ ඉඩම්වලට එල්ල වී තිබෙන ඉරණම ඉතාමත් ශෝකජනකය. වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තණමල්විල අඩවි වන කාර්යාල බල ප්‍රදේශයට අයත් කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය අද වෙද්දී මහා පරිමාණයෙන් එළි පෙහෙළි කරමින් පවතී.
මෙම කටයුතුවලට සෘජුවම මැදිහත්වී ඇත්තේ ඌව පළාත් සභාවේ දේශපාලනඥයෙකි. මෙම දේශපාලනඥයා ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයේ අපේක්ෂකයකුද වන්නේය. මෙම දේශපාලනඥයා ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සමග එක්ව කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය එළි පෙහෙළි කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසයි.
අද වන විට කතරගම ප්‍රදේශයේ ඉඩම් සඳහා ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. පර්චසයක් රුපියල් ලක්ෂ ගණනකට විකිණෙද්දී ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ ඇල්ම – බැල්ම වැටී ඇත්තේ රජයේ ඉඩම් සහ රක්ෂිතවලටය. අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය කතරගම ප්‍රදේශයේ ඉතිරි වී තිබෙන එකම රක්ෂිත කලාපය වන්නේය.
මෙම කලාපය අනවසරයෙන් අල්ලා ගත් කීප දෙනකු හේන් ගොවිතැන් කටයුතු සිදු කරනු ලබති. සමහරු මෙම කලාපයේ ඉඩම් අල්ලාගෙන ව්‍යාපාරිකයන්ට විකුණනු ලැබූ අවස්ථාවන්ද වාර්තා වේ. කෙසේ නමුත්, අද වෙද්දී කඳසුරිඳුගම යෝජින රක්ෂිත වනයට ඉතිරි වී ඇත්තේ අක්කර දහයක භූමි ප්‍රදේශයක් පමණි.
ඌව පළාත් සභා දේශපාලනඥයා මෙම යෝජිත රක්ෂිත කලාපය ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් නිරතුරුවම කටයුතු කළේය. ‘‘මේ ඉඩම් ටික මිනිස්සුන්ට දෙන්න ඕනෑ’’ යැයි නිලධරීන්ට නිරතුරුවම තර්ජනය කළේය. මෙම රක්ෂිත කලාපය වටා අලි වැට සකස් කිරීමට වන නිලධාරීන් සූදානම් වෙද්දී, මෙම දේශපාලනඥයා තදින්ම විරුද්ධ විය. ඔහුට අවශ්‍ය වූයේ කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය එළි පෙහෙළි කර සිය පාක්ෂිකයන්ට බෙදා දීමය.
මෙම දේශපාලනඥයා දැනට දින කීපයකට ඉහත දී බැකෝ යන්ත්‍රයක් ගෙනැවිත් යෝජිත රක්ෂිත කලාපය එළි පෙහෙළි කළේය. දෙවන දිනයේද බැකෝ යන්ත්‍රයක් රැගෙන ආ අවස්ථාවේ, කැලෑව එළි පෙහෙළි කිරීමේ කටයුතු නතර කිරීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කරන ලදී.
‘‘මෙම දේශපාලනඥයා දිගින් දිගටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ නිලධාරීන්ට බලපෑම් කරනවා. මේ වැඩවලට ප්‍රාදේශීය දේශපාලනඥයකුත් හවුල් කරගෙන සිටිනවා. මේ විදිහට ගියොත් කතරගමට ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයත් නැත්තටම නැති වී යාවී’’ යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ, පරිසරවේදී ජනක විතානගේ සඳහන් කළේය.
රක්ෂිත ප්‍රදේශ මෙලෙස එළි පෙහෙළි කිරීමේ කටයුතු සඳහා ඇතැම් රජයේ නිලධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වේ.
කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය සම්බන්ධව වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩගෙන් අප විමසීමක් කළෙමු.
‘කඳසුරිඳුගම යෝජිත රක්ෂිත කලාපය එළි පෙහෙළි කරමින් තිබෙන බවට අපටත් තොරතුරක් ලැබුණා. වනය එළි පෙහෙළි කරමින් සිටි කීප දෙනකුව වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගනු ලැබුවා, යැයි වන සංරක්ෂක ජනරාල්වරයා පැවසුවේය.
කෙසේ නමුත්, මෙම දේශපාලනඥයාගේ බලපෑම් හමුවේ වන සංරක්ෂණ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අනාවරණය වේ.
සාලිය කුමාර ගුණසේකර
