News

රටවල් තුනක සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය‌ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව රටවල් තුනක රැදී සිටි ශ්‍රි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ මාලදිවයින, එංගලන්තය සහ තුර්කිය යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 462දෙනෙකු ගුවන් යානා 03කින් කටුනායක සහ මත්තල යන ගුවන් තොටුපළ හරහා දිවයිනට පැමිණි බවයි.

මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 4102 දරණ විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 196දෙනෙකු අද දහවල් 12.30ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 142දෙනෙකූ අද (28) දහවල් 1.00ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

තුර්කියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 124දෙනෙකු රැගත් තුර්කි ජාතික ගුවන් සේවයේ ටී.කේ. 730 ගුවන් යානය ඉස්තාම්බුල් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවලදී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.