රට පුරා විශ්වවිද්‍යාල පෙරවැඩුම් මධ්‍යස්ථාන අරඹනවා-ඇමැති විමල්
ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබාගෙන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් වයඹ මෙන්ම සෙසු විශ්වවිද්‍යාලවලද පෙරවැඩුම් මධ්‍යස්ථාන ඉදිකරන බව ඇමැති විමල් වීරවංශ පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වාගෙන යන ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (BREAD Centre) නිරීක්ෂණයකට එක්වෙමිනි.
මාකඳුර බටහිර කර්මාන්තපුරයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පෙර වැඩුම් මධ්‍යස්ථානයක් (Incubator Center) ලෙසද හඳුන්වයි.
තම නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍රසුත්‍ර සපයා ගැනීමේ දුෂ්කරතා ඇති ව්‍යවසායකයන්ට වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික සංසදයෙන් බිහිවන නව ව්‍යවසායකයන්ට සහ ප්‍රදේශයේ එවැනි සහයෝගයක් අවශ්‍ය ව්‍යවසායකයන්ට ඉතා සුළු මුදලක් ගෙවා මෙම පෙර වැඩුම් මධ්‍යස්ථානයේ ඇති යන්ත්‍රසූත්‍ර භාවිත කිරීමේ අවස්ථාව මෙමගින් හිමිවේ.
මෙම කර්මාන්ත පුරයේ පිහිටි වෙට්ග්‍රෝ (VETGROW) ආයතනය විසින් සුරතල් බල්ලන්ගෙ සහ බළලුන්ගේ ආහාර හිඟයට පිළියමක් වශයෙන් නිපදවූ ආහාරමය නිෂ්පාදනය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
එම සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ මෙම ආහාර ආනයනයට වසරකට වැය කරන රුපියල් මිලියන 816කට අධික මුදල මෙම නිෂ්පාදනය හේතුවෙන් රට තුළ ඉතිරි වන බවයි.
