රත්නපුර ලීසිං ආයතනයක සේවකයෙක්ට කොවිඩ්
රත්නපුර නගරයේ ලීසිං ආයතනයක සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
උණ රෝගී තත්ත්වයක් මත රත්නපුර ශීක්ෂණ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 05දා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ඇඹිලිපිටිය නායකත්ව ජාතික මධ්‍යස්ථානයේ පිහිටි කෝවිඩ් ආසාදිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මෙම සේවකයා සේවය කළ රත්නපුර නගරයේ ලීසිං ආයතනයත්, ඔහු ගිය බවට සැකකරන බලන්ගොඩ නගරයේ ලීසිං ආයතන ශාඛාවකුත් මේ වනවිට වසා දමා ඇත.
රත්නපුර කරපිංච ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු රෝග ලක්ෂණ තිබියදී ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් ද පවුලේ සමීපතමයින්ද නිරෝධායනයට ලක්කර පිසීආර් පරීක්ෂණ පවත්වන ලෙස සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා උපදෙස් දී ඇත.
මේ අතර ඔහු සේවය කළ රත්නපුර කාර්යාලයේ සේවකයින් සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම සේවකයා කොරෝනා රෝග ලක්ෂණ තිබියදී සමාජයේ වැඩිපුර ගැවසී ඇති තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවද සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසයි.
