News

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි

රටේ සංවර්ධනය සදහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සදහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේ පැවැති අතුරු සම්මත ගිණුම පිළිබදව විවාදයට එක්වෙමිණි.

එහිදී මන්ත්‍රීවරයා සදහන් කළේ ඉදිරි මාස 04 තුළ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම ඉතාමත් වැදගත් බවයි.

මේ වන විට රාජ්‍ය සේවය ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් උපාධිධාරීන් බදවා ගනිමින් සහ රාජ්‍ය සේවයේ සුළු සේවකයන් ලක්ෂයකට රැකියා ලබාදීමට පියවර ගෙන ඇති අතර, මොවුන් රටේ සංවර්ධනයේ ප්‍රධාන බලකාය බවද ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ, අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් විශාල වශයෙන් කැපකිරීම් සිදු කරමින් තම සේවය ඉටු කරන බවද ඒ මහතා කීය.

තවද රටේ පළාත් සභා 09ම මේ වන විටත් අකර්මණ්‍ය වී ඇති බවත් රාජ්‍ය සේවයේ විශාල පිරිසක් නියෝජනය වන පළාත් සභා වල කාර්යක්ෂමතාව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.