රැකියා අහිමි වූ කම්කරුවන්ට අභියාචනයට අවස්ථා
කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ තත්ත්වයන් මත රැකියා අහිමි වී ඇති මෙන්ම රැකියා තර්ජනයට ලක්ව ඇති රජයේ සහ පෞද්ගලික අංශවල අද (11 වැනිදා) සිට ඒ වෙනුවෙන් අභියාචනා කිරීමට අවස්ථාව හිමිවන බව හිටපු කම්කරු රාජ්‍ය ඇමැති ගාමිණී ලොකුගේ පැවසීය.
කොළඹදී ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී වැඩකිරීමට නොහැකිව සිටින රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කම්කරුවන්ට පළාත් කම්කරු කාර්යාලවලට මෙලෙස සිය අභියාචනා ඉදිරිපත් කළ හැකිය.
ඒ සඳහා එම කාර්යාලවල විශේෂ කවුළුවක් විවෘත කරන බවද හිටපු කම්කරු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ඇඳිරි නීතිය දාලා මාසෙකට වැඩි කාලයක්. රජය මේ වන විට හැම ආයතනයක්ම ආරම්භ කරන්න මූලික කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අවස්ථාවේ තමයි කම්කරු ඇමැති සමග අප සාකච්ඡාවක් කළේ එහිදී එකඟතාවලට පැමිණියා. ගැටලුවලට මැදිවී සිටින කම්කරුවන්ට විසඳුම් ලබා දෙන්න. ඒ අනුව අපි ඉල්ලීමක් කළා ලංකාවේ සියලුම පළාත් කම්කරු කාර්යාලවලට ප්‍රශ්න මතුව ඇති කම්කරුවන් අභියාචනා අරගෙන ඒ අය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව ඒ ඒ පළාත්වල සියලුම කාර්යාලවල වෙනම කවුළුවක් විවෘත කොට නිලධාරීන් පත්කර තිබෙනව මේ පිළිබඳ දැනුවත් කරන්න. එහිදී කම්කරු උපදේශ සභාව මෙන්ම කම්කරු නිලධාරි සභාව දැනුවත් කොට ඒ ඒ සමාගම්වල හිමිකරුවන් සමග සාකච්ඡාකර විසඳුම් ලබාදීමට නියමිතය. එසේම කම්කරු ජනතාව තම රැකියා ස්ථානයට පැමිණි විටදී ඔවුන්ට අවශ්‍යවන සියලු සෞඛ්‍ය පහසුකම් රජය මගින් ලබාදීමටද කටයුතු කර තිබෙනවා යැයි හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වරුණි පෙරමුණ
