රැකියා සඳහා ලාංකිකයන් 160 ක් දකුණු කොරියාවට යන්න සූදානම්
දකුණු කොරියාවේ රැකියා සඳහා අවසර ලබා ඇති 160 කින් සමන්විත ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් කණ්ඩායමක් එරටට යැවීමට කටයුතු සැලසුම් කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ පැවැසීය.
සභාපතිවරයා සඳහන් කළේ කොරියාවේ සේවය කර නැවත මෙරටට පැමිණ සිටින යළි රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරා සිටින පිරිසක් මෙලෙස එරටට පිටත්වීමට සූදානමින් සිටින බවයි.
‘‘අවුරුදු කීපයක් කොරියාවේ සේවය කරලා ලංකාවට ඇවිත් ඉන්න කණ්ඩායමක් ඉන්නවා මේ කොවිඩ් – 19 වෛරසය නිසා ආපහු යන්න බැරුව. ඔවුන්ට අලුත් රැකියා අවස්ථා ලැබිලා තියෙනවා.
වීසා අවසරයත් ලැබිලයි තියෙන්නේ. ඒ වගේම කොරියාවේ කර්මාන්ත ශාලා රැසක්ම ඔවුන්ට සේවකයන් අවශ්‍යයි කියලා අපිට දැනුම් දීලා තියෙනවා.
දැන් අපේ සේවක පිරිස අරගෙන යන්න විශේෂ ගුවන් යානයක් එවන්න කොරියාව කැමැත්ත පළ කරලා තියෙනවා’’ යනුවෙන් සභාපතිවරයා පැවැසීය.
මෙම විශේෂ ගුවන් යානයෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 250 ක් මෙරටට ගෙන ඒමටද සැලසුම් කර ඇතැයි පැවැසූ සභාපතිවරයා ඒ සඳහා ‘කොරියාවේ ගුවන් සේවය’ සහ ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ මෙන්ම තවත් ගුවන් සමාගම් කිහිපයක් සමගම කොරියානු පාර්ශ්වය සාකච්ඡා කර ඇතැයිද සඳහන් කළේය.
මේ පිළිබඳව විෂය භාර ඇමැති දිනේෂ් ගුණවර්ධනද දැනුවත් කර ඇතැයිද හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් පුහුණු කාලසීමා අවසන් කර නොමැති බැවින් පළමු වරට දකුණු කොරියාවට රැකියා සඳහා යෑමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වූ අවස්ථා තාවකාලිකව අත්හිටුවා ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නයන තරංග ගමගේ
