News

රිමාන්ඩ් තදබදයට විසඳුම් දෙන්න කමිටුවක්

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින චූදිතයන් හේතුවෙන් ඇතිව තිබෙන අධික තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ ඇමැති අලි සබ්රිගේ උපදෙස් මත ඊයේ (03 වැනිදා) විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්ගේ සහභාගිත්වයෙන් යුතු මෙම කමිටුව, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වෙයි.

මෙම කමිටුවේ නීති උපදේශකවරුන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශකවරු කටයුතු කරති.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඇප ලබා නොදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවූවන් පිළිබඳව නීතිමය තත්ත්වය පිළිබඳව සොයා බලා සති තුනක් ඇතුළත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ ඇමැතිවරයා, අදාළ කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නාමල් රාජපක්ෂ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සමග අධිකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම උපදෙස් ලබා දී ඇත.

ඉෂාර රත්නකාර