News

රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවතට

 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පූර්ව දැනුම්දීමකින් තොරව රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත්කිරීම සම්භන්ධයෙන් රුසියානු පාර්ශ්වයේ අවධානය යොමු වී ඇත.

මේ සම්භන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය ඒ බව පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (පැට්රිස් ලුලුම්බා විශ්වවිද්‍යාලය), පිරොගොව් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ටීවර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ, එම විශ්වවිද්‍යාල ත්‍රිත්වයෙහි නිලධාරීන් පසුගිය වසර කිහිපය පුරා විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් හමුවූ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු සාමාජික මුදල් ගෙවීම් නිසි ආකාරයට ගෙවූ බවත්ය.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ ඔවුන් එම තීරණය ගනු ලැබුවේ කරුණු හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව බවයි.

රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය හෙවත් රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකික පුරවැසියන්ට පිරිනමනු ලබන රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව සඳහා බලපෑමක් ඇති නොවෙතැයි ඔවුන් බලාපොරොත්තු වන බවය.

එසේ බලපෑමක් ඇති වුවහොත්, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මුදල් ගෙවීමකින් තොරව ප්‍රධාන පෙළේ රුසියානු විශ්වවිද්‍යාල වල ඉගෙනීමට ඇති අවස්ථාවන් අහිමිවන බවද එම නිවේදනයේ සඳහන් වේ.