News

රූපවාහිනිය පාසලක් කරන්න යයි

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල සහයෝගය ඇතිව පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල ඉගැන්වීම් කටයුතු නියමිත පරිදි සිදු කිරීමට පැන නැගුණ අපහසුතා සැලකිල්ලට ගෙන දැනට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ “අයි නාළිකාව” සහ “නේත්‍රා නාළිකාව” ඔස්සේ සිදුකෙරෙන ඉගැන්වීමේ කටයුතු මේ අනුව වඩාත් පුළුල් කිරීමට නියමිතය.

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය නැවත ර​ටේ මතු වීම මත නියමිත පරිදි පාසල් ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන බැවින් අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත විකල්ප දුරස්ථ අධ්‍යාපන ක්‍රම අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එබැවින්, 3 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල සහයෝගය ඇතිව මෙම වැඩසටහන් විකාශය කිරීමට නියමිතය.

නයන තරංග ගමගේ