News

ලද දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරනවා-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක් තිබෙන බව එම පක්ෂ මහලේකම් බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙනුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ආචාර්ය සුරේන් රාඝවන් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමක දී ය.

මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් මේ බව විමසා සිටියේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍යාංශයේ ඊයේ (17 වැනිදා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

“ජාතික ලැයිස්තුවට අපි නම් හතරක් දුන්නා. දෙන්නේ එක් අයකුට නම් පක්ෂයෙන් විමසීමක් කරන්න තිබුණා. එහෙම කිසි විමසීමක් නොකර තමයි පත්වීම දුන්නේ. ඒ නිසා මේක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙලා.

ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න අපි සූදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කිරීමයි අපට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ තමයි අද ශ්‍රීලනිපයට වෙලා තියෙන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට අංගජන් රාමනාදන් පත්වුණා. එතුමන්ටත් සැලකිල්ලක් නැහැ. මේ තත්ත්වය ගැන ජනාධිපති සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ද දයාසිරි ජයසේකර සඳහන් කළේය.