News

ලබන සතියේ දුම්රියෙන් එන අය අද ලියාපදිංචි විය යුතුයි

මෙම සතියේ දුම්රියෙන් ගමන් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,334 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටියද එයින් පැමිණ ඇත්තේ මගීන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්ත පවසයි.

ලියාපදිංචි නොවූ කාර්යාල සේවකයින්ද ඇතුළුව පැමිණි සම්පූර්ණ මගීන් ගණන 15,722 ක් බවද හෙතෙම පැවසීය.

දෙපාර්තමේන්තුව විසින් මේ සතිය සඳහා අතිරේක දුම්රිය දෙකක්ද අනතුරුව දුම්රිය 29ක් ධාවනය සඳහා යොදවා තිබේ. කාර්යාල සේවකයන් සඳහා සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වන පරිදි උපරිම ආසන 25,000ක්ද වෙන් කිරීමේ හැකියාව ඇත. මෙය එක් එක් සතිවල ධාවනය වන දුම්රිය සංඛ්‍යාව අනුව වෙනස් වේ.

මේ අතර ජුනි පළමු වැනි සඳුදා දිනෙන් ආරම්භ වන සතියේ දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තුවන කාර්යාල සේවකයින් අද (27 වැනිදා) දින සවස හයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවද හෙතෙම මෙහීදී වැඩි දුරටත් පැවසීය.

 

ශිරන්තනි මානවඩු