News

ලේ දන් දුන් පිරිසකටත් කොවිඩ්

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේ පැවැත් වූ ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සහභාගී වූ කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින පවත්වා ඇති අතර මේ සම්බන්ධව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්තා වේ.

ලේ පරිත්‍යාග කළ අය අතුරින් එකම පවුලේ තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.

විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන අයෙකුට සහ වරාය අධිකාරියෙහි සේවය කරන අයෙකුට හා ඔහුගේ බිරිදටත් , සොහොයුරාත් එම ආසාදිතයින් වේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 19 ක සාමාජිකයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මෝරුපොල ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ආසාදිතයෙකුව සිටින විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන තැනැත්තාගේ පියා බස් රියදුරෙකු ලෙස මාතර – කොළඹ බස් රථයක සේවය කරන අයෙකු බව අනාවරණය වී ඇති අතර ඔහුද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.