වනජීවී නිලධාරියාගේ ගිනි බටය දඩයක් කරුට දීලා
පොළොන්නරුව ප්රදේශයේ දඩයක් කරුවකු ලෙස සැක කරන පුද්ගලයෙකු සන්තකයේ නිවසක තිබී වනජීවී නිලධාරීන්ට ලබාදෙන ගිනි අවියක් සොයාගෙන ඇත.
ඊයේ (27) පොළොන්නරුව ගල්ඔය හතරැස් කොටුව ප්රදේශයේ කළ නිවෙස් පරීක්ෂාවකදී මෙලෙස සොයාගෙන ඇත. වනජීවී නිලධාරීන් භාවිතයට ගන්නා විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතරොම් 3ක් යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, යුද හමුදා නිලධාරීන් භාවිතා කරන භාණ්ඩ කිහිපයක් සමග වියළන ලද දඩමස් කිලෝ 1යි ග්රෑම් 350ක ප්රමාණයක් සොයාගෙන ඇත.
අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත . අදාල ගිනි අවිය හබරණ වනජීවී කාර්යාලයට අයත් අනුයුක්ත බීට්ටු වන නිලධාරියෙකුගේ බවට අනාවරණවී ඇත.
ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට සහ අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
භාණ්ඩ තොගය අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හබරණ පොලීසියට බාර දී ඇත. හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
