News

වසංගත කාලේ මිලියන 50ක සුරාබදු වැටලීම්

කොවිඩ් වසංගත කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුව රට පුරා සිදුකළ 2086ක් වූ වැටලීම්වලින් 1804ක්ම නීතිවිරෝධි මත්පැන් ආශ්‍රිත වැටලීම් බව වාර්තා වෙයි.

නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය, අලෙවිය, ප්‍රවාහනය, මහ රා සන්තකයේ තබා ගැනීම වැනි වැරදි යටතේ මෙම වැටලීම් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

මෙම වැටලීම්වලින් සැකකරුවන් 2086ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඳිරිනීතිය අවසන් වූ පසු නඩු පවරන බවද ඔහු අවධාරණය කර සිටියේය. ඇඳිරිනීතිය කඩ කරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටි සුරාබදු බලපත්‍රලත් ස්ථාන 6ක්ද මුද්‍රා තබා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 ක්ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් මත්පැන්, මත්ද්‍රව්‍ය හා උපකරණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වන බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

 

උදයජීව ඒකනායක