News

වසර 20කට පසු එන සුළි කුණාටුවක් අත ළග

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණයවී තිබෙන අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් බවට වර්ධනයවී අද (02 වැනිදා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සුළි කුණාටුවක් ලෙස මෙරටට බලපාන බැවින් හෙට (03 වැනිදා) දක්වා විමසිලිමත්ව පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කරන අතර,මේ නිසා දිවයින පුරා වැසි සහ සුළං ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ලංකාව හරහා සුළි කුණාටුවක් මෙලෙස ගමන් කරන්නේ වසර 20කට පසුවය. අවසන් වරට ලංකාව හරහා සුළි කුණාටුවක් ගමන් කළේ 2000 වසරේදීය.

ගිණිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අඩු පීඩන තත්ත්වය ඊයේ (01 වැනිදා) පෙරවරු 11.30 ට පමණ පීඩන අවපාතයක් බවට පත්විය.එය ඊයේ දහවල් වනවිට ත්‍රිකුණාමලයට ගිණිකොන දෙසින් කිලෝමීටර් 460ක් දුරින් ස්ථානගතව තිබුණි.

මෙම සුළි කුණාටුව අද (02 වැනිදා) මඩකලපුව සහ මුලතිව් අතරින් නැගෙනහිර වෙරළ තීරයෙන් මෙරටට ඇතුළුවීමට නියමිතය.

මෙහි බලපෑම මත නැගෙනහිර,උතුරු,උතුරු මැද,වයඹ,මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 200ක පමණ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට විටින් විට මිලි මීටර් 100 හෝ ඊට වැඩි ගිඟුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු,උතුරු මැද,නැගෙනහිර,වයඹ,බස්නාහිර,මධ්‍යම සහ සබරගමුව යන පළාත් වලට විටින් විට පැයට කිලෝමීටර් 80 ක් 100ක් පමණ දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

අයහපත් කාළගුණික තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියළුම පාසල් සිකුරාදා තෙක් වසා දැමීමට නැගෙනහිර අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මුහුදු සුළඟේ වේගය වැඩිවීම නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු අඩපණවී තිබුණි.

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවොවහොත් කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක,ත්‍රිවිධ හමුදාව,පොලිසිය ඇතුළු සියළුම ඒකක දැනුවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කීවේය.

සාලිය කුමාර ගුණසේකර
ජවුෆර් ඛාන්-මඩකලපුව