වසා ඇති ඇඟලුම් කම්හල් රජයට ගන්නැයි ඉල්ලීමක්
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ඒවා රජයට පවරා ගන්නා ලෙස නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටියි.
පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යුනිසෙෆ් ආයතනයෙන් ශ්‍රී ලංකාවට විශාල ඇණවුමක් ලබාදී ඇති බැවින් මෙම කර්මාන්ත ශාලාවල සේවකයන් ඒවා නිෂ්පාදනයට යෙදවීමෙන් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.
එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් අරුන් කළ විමසීමකදී පැවසුවේ ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමේදී අනුමත කළ එකඟතා මග හරිමින් නොයෙක් හේතු පෙන්වමින් කර්මාන්ත ශාලාවල සේවකයන් ඉවත් කිරීමට ඇතැම් හාම්පුතුන් කටයුතු කරන බවයි.
කොවිඩ්-19 වසංගතය මුවාවෙන් හාම්පුතුන් සිය සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බවත්, මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී පැවතුණහොත් දහස් ගණන් සේවක සේවිකාවන්ගේ රැකියා හාම්පුතුන්ගේ ලාභය වෙනුවෙන් අහෝසි කෙරෙනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
අශිකා ජයවීර
