ව්‍යවස්ථාව වෙනස් කිරීමට තවත් බලාසිටියොත් තුනෙන් දෙක තුනෙන් එක වේවි
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ඉවත් නොකර එහි සංශෝධනයක් පමණක් සිදු කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඊට තරයේ විරුද්ධ වන බවත් රටට දැන් අවශ්‍ය වන්නේ දැවෙන ප්‍රශ්න සියල්ලට විසඳීමට හැකි පරිපූර්ණ නව ව්‍යවස්ථාවක් බවත් ජාතික සංවිධායක එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පැවැසීය.
හැටනව ලක්ෂයක් ඡන්ද දායකයන් ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරායට ඡන්දය ලබා දුන්නේද පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේද ව්‍යවස්ථා සංශෝධනයට නොව මූලික වශයෙන් නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමට බව හෙතෙම පැවැසීය.
ආචාර්ය ගුණදාස අමරසේකර මෙසේ පවසා සිටියේ ඊයේ (18 වැනිදා) රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන එකමුතුව කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ ‘‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා තවත් වසර දෙකකටත් වඩා වැඩි කාලයන් ගත වනු ඇති බව අධිකරණ ඇමැතිවරයා පවසා ඇති බවත් එය සම්පූර්ණයෙන් විහිලුවක් බවය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුවෙන් තවත් අවුරුදු දෙකක් ගත වී යන තුරු බලා සිටියහොත් සිදුවන්නේ තුනෙන් දෙක තුනෙන් එක වන බවද වසර දෙකකට වඩා වැඩි කාලයක් යන තෙක් සිටිනවාට වඩා නව ව්‍යවස්ථාවක් වහාම ගෙන ඒම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම,
‘‘ව්‍යවස්ථාවන් හැදීමට වසර දෙකක් කිසිවිටකටත් ගත වන්නේ නැහැ. දරුවෙක් ඉපදෙන්නත් මාස දහයයි යන්නේ. මේක මේ නිදහසට හදාගත්ත කාරණාවක්. මේ රටේ ජනාධිපතිවරයායි අගමැතිවරයායි දෙන්නම ඉන්නේ එක පක්ෂයේ. ජනාධිපති අගමැති ගැටුම නැහැ. ඒ නිසා මේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට ගැටලුවක් නැහැ. දහනව වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර කර නව සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය නෑ. කළ යුත්තේ වසර දෙකක් බලන් ඉන්නේ නැතුව නව ව්‍යවස්ථාවක් හදන එක.’’
මෙහි දී අදහස් දක්වා සිටි දේශ හිෙෙතෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසා සිටියේය.
‘‘ආණ්ඩුව දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කර ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින විසිවන ව්‍යවස්ථා සංශෝධනයන් ඉතාමත් අනතුරුදායක දෙයක් වෙන්න පුළුවන්. බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය යම් සංශෝධන එයට ඇතුළත් වෙයි කියලා අනතුරක් තියෙනවා. ඉදිරියේ දී මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැහැ. උතුරේ කුඩා දේශපාලන පක්ෂ එකතු වෙන්නත් අවශ්‍යයි. ඒක ලැබෙන්න නම් ඒ පක්ෂ කියනවා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය දෙන්න නම් ඒ අයට අවශ්‍ය සංශෝධනයන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියලා. මේ අනතුර හිතලුවක් නෙමේ.
හැබෑවටම සිදු වීමට තිබෙන දෙයක්. බපොදුජන පෙරමුණේ ඉන්නවා මීට පෙර ඉන්දියාව කියපු විදියට දහතුන් වැනි සංශෝධනය බලාත්මක කිරීමට කැමැති අය. අපි ආණ්ඩුවට කියනවා ඔබට ජනතාව මනාපය දුන්නේ සංශෝධන ගේන්න නෙමෙයි නව ව්‍යවස්ථාවක් ගේන්න. ඒ නිසා කලබලේ හදිසියේ සංශෝධනයන් කරන්න බැහැ. හදිසියේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න ගිහිල්ලා ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානියක් සිදුවුවහොත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට තියෙන සදාචාරාත්මක බලය සුජාත භාවය පිළිබඳව ගැටලුවක් මතු වෙනවා. එහෙම වුණොත් වෙන්නේ ජනවරමට ලැබුණු ආණ්ඩුවේ වටිනාකම නැති වෙන එක.
මේ වෙන කොටත් මේ කෙටුම්පත හදලා කියලා සමහර මාධ්‍ය වාර්තා කරනවා. ව්‍යවස්ථාමය පටිපාටිය අනුව එය වැරැදියි. යම් කිසි ඇමැතිවරයෙක් ව්‍යවස්ථා සංශෝධනයක් හදනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙන්න අවශ්‍යයි. ඉන් පසුව තමයි කෙටුම්පත හදන්න පුළුවන්. මේ වෙද්දිත් ඒක හදලා නම් එය බරපතළ ගැටලුවක්. මේ කෙටුම්පත ගැසට් කරන්න කලින් මහජනතාවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මෙය සැබැවින්ම සෙල්ලමක් නෙමෙයි. මෙයින් වන්නේ මොවුන්ට ලැබුණු ජනවරම විනාශ වීමය. එහෙම වුණොත් අපට මේ රටේ ජීවත් වන එකත් එපා වෙයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම ද මෙසේ පවසා සිටියේය.
‘‘මේ රටේ මෙතෙක් තිබුණු ව්‍යවස්ථා සංශෝධන කිසිවක් මේ රටේ ජනතාවගේ කැමැත්තට ඔවුන්ගේ උවමනාවට ගෙන ආපු ඒවා නෙමෙයි. ඒ නිසා දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පැලැස්තර දාලා විසි වැනි සංශෝධනය ගෙන එන එක මහා භයානක දෙයක් වෙන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ දහනව වැනි ව්‍යවස්ථාව අහෝසි කිරීම විතරයි. සංශෝධන අවශ්‍ය නැහැ.
මන්ත්‍රීවරු රවටලා ඇස් වහලා භයානක දේවල් මේ රටේ සිදු වීමට ඉදිරියේ දී අනතුරක් තියෙනවා. ඒ නිසා මේ අවධානමට ඉඩ නොතියා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ නව ව්‍යවස්ථාව ජනතාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. මොකද ජනතාවට අයිතියක් තියෙනවා ඒ පිළිබඳව දැන ගන්න.’’
අශිකා ජයවීර
