News

වැරදීමකින් මාරු වී වෙනත් දරුවෙකුගේ සිරුරක් මිහිදන් කරලා

වැරදීමකින් මාරුවී මිහිදන් කරන ලද පිරිමි දරුවකුගේ සිරුරක් ඊයේ (22දා) පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් රුද්‍රිගු මහතා ඉදිරියේ ගොඩ ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ මවක් පසුගිය 30දා පානදුර කේතුමති කාන්තා රෝහලේදී මළදරු උපතක් කර තිබූ අතර දිනම කහතුඩුව ප්‍රදේශයේ කාන්තාවක්ද මළදරු උපතක් සිදු කර ඇත.

පානදුර මූලික රෝහලේ මළසිරුර මෘත ශරීරාගාරයේදී හඳුනාගෙන පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී මිහිදන් කර ඇති අතර මිහිදන් කර ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ කාන්තාව බිහිකළ මළදරු සිරුර බවට පසුව හඳුනාගැනීමෙන් අනතුරුව පානදුර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත සිරුර ගොඩගැනීමට කටයුතු කළ බැව් පොලිසිය පවසයි.

ගොඩගත් මළසිරුර පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතාගේ උපදෙස් පරිදි ඊයේ(22) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.