News

විදෙස් කාර්යංශයේ වියදම් කපා හැරේ

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සිය දූත මණ්ඩලවල වියදම් කපාහැරීමට තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදී ඇති අර්බුදය හමුවේ රජයට සහය දැක්වීමේ පියවරක් ලෙස මෙම වියදම් කපා හැරීම ක්‍රියාත්මක කරන බව එම කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. චන්ද්‍රසේකර පවසන ආකාරයට දැනටමත් ඇතැම් ක්ෂේත්‍රවල වියදම් අඩුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. පසුගියදා කම්කරු ඇමැති ධුරයේ වැඩබාර ගනිමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බරපතළ චෝදනාවක් එල්ල කළ අතර හෙතෙම සඳහන් කළේ පසුගිය පාලන සමයේ ආයතනයේ මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ පසුගිය මාස කිහිපයේදී වෛද්‍ය සේවා නැවත ගෙන්වා ගැනීම, සංචාරය සහ වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන 900ක වියදමක් කාර්යාංශය විසින් දරා ඇති බවකි.

කම්කරු ඇමැතිවරයා පසුගියදා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ 120ක් පමණ වන විදේශ සේවයේ නියුතු නිලධාරීන් වහාම මෙරටට කැඳවීමට කටයුතු කරන බවයි. මෙම විදේශගත නිලධාරීන්ගේ වියදම් වෙනුවෙන් කාර්යාංශය රුපියල් මිලියන 970ක් වැඩිකර ඇතැයිද එම නිසාම ආනයනය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින බවද ඇමැතිවරයා පසුගියදා පැවැසීය.

නයන තරංග ගමගේ