විභාග පිළිතුරුපත් ඇගැයීමට ජාත්‍යන්තර පාසල් ගුරුවරු එපා
ජාතික විභාගවල පිළිතුරු පත් ඇගයීම සඳහා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් යොදවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කරයි.
යම් ලෙසකින් එම පිළිතුරු පත් ඇගයීම සඳහා එම ගුරුවරුන් සම්බන්ධ කර ගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් එහෙයින් එම ගැටලුවට මුහුණ දීමට පෙර තීරණය ඉවත් කර ගන්නා ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් එම එකමුතුවේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලින් කීවේය.
අමාත්‍යාංශය මේ උත්සාහ කරන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට අනවශ්‍ය වටිනාකමක් ලබා දීමට යැයි ද ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි යැයි ද හෙතෙම කීවේය.
මෙවර උසස් පෙළ විභාගයේ සිට පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සුදුසුකම් ලත් ගුරුවරුන් යොදවා ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
මෙතෙක් ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරුපත් ඇගයීම් කළේ සිංහල හා දෙමළ මාධ්‍ය පිළිතුරු පත් ඇගයීමෙන් පසුව යැයි ද මෙවර සිට මාධ්‍ය තුනෙන් ම එකවර ඇගයීම් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
නිලන්ත මදුරාවල
