News

විභාගෙට කළින් ලියන ප්‍රශ්න පත්‍රය ඔන්ලයින් එයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස එළඹෙන ඉරිදා (11) දින පැවැත්වීමට නියමිත සහ 12 වන සඳුදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.

https://info.moe.gov.lk

උක්ත විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් විභාග දෙපාර්මේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබා දීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමු කරනු ලැබේ.

මාර්ගගත තොරතුරු ඉදිරිපත් නොකළ සිසුන් විසින් මෙම ආකෘති පත්‍රය ( එක් මාධ්‍යකින් ) සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතු අතර එහිදී වාර්තා වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන මෙන් සියලුම පළාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කර ඇත.

ඒ අනුව විභාග අපේක්ෂකයන් විසින් සම්පූර්ණ කරන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටියි. අ. පො. ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු ම සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අතර 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.

ප්‍රථම අවස්ථාවේ දී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුවුව හොත් ඒ ඒ අවස්ථාවල දී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය.