News

ශ්‍රේණිගත කිරිම්වල පහළ ගියක් ආර්ථිකය වැටිලා නැහැ

ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක සිට පහළ මධ්‍ය ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමේ ඇත්තේ නාම මාන්ත්‍රික වටිනාකමක් පමණක් බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැබෑ ලෙස පහත වැටී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පැවැසීය.

නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණය එළිදක්වමින් ඊයේ මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක් වූ අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ විනිමය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතය වැනි දර්ශක පදනම් කරගෙන සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීම කෘත්‍රිම පිළිඹුවක් පෙන්නුම් කරන නමුත් ශ්‍රී ලංකාවේ සත්‍ය දළ දේශීය නිෂ්පාදිතය ලෝක බැංකුව පෙන්වා දෙන ආකාරයට වෙනසකට ලක්ව නොමැති බවයි.

එසේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම සහ ශ්‍රී ලංකාවේ දර්ශක ඩොලර්වලට පරිවර්තනය කිරීමේ දී පෙන්නුම් කරන කෘත්‍රිම අගයන්, මෙලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් තත්ත්වය පහත ගොස් ඇතැයි පෙන්වා දෙන බවද අධිපතිවරයා පෙන්වා දුන්නේය. ලෝක බැංකුව විසින් සිදු කළ මෙම පහත හෙළීම ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් බැලපෑ හැකි බවත් මෙහි දී පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී එය ආධාර ලැබීමට සුදුසුකමක් වන නමුත් ලෝක දර්ශකය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය පහත වැටීමට හේතු වන බවද පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට එක් වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කළේ රජය විසින් කිසිදු සහයෝගයක් ලබා නොදුන් නමුත්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ නිර්දේශ කරන ලද රුපියල් බිලියන එකසිය පහනක සම්පූර්ණ මුදල වාණිජ බැංකු මගින් අවශ්‍යතාව සහිත ජනතාව අතට පත් කිරීමේ පියවර මේ වන විට ගෙන ඇති බවයි.

අපිට මුලින්ම රජයෙන් උපදෙස් ලැබුණේ රුපියල් බිලියන පනහක මුදලක් බැංකු මගින් නිකුත් කරන්න. නමුත් ඒ මොහොතේ මහ බැංකුව සතුව නිදහස් කළ හැකි ප්‍රමණය විදියට තිබුණේ රුපියල් බිලියන තිහක් විතරයි. ඒ සම්පූර්ණ මුදල සියයට හතරේ පොලියට අවශ්‍යතාව සහිත පිරිස්වලට ලබාදෙන්න අපි වෙන් කළා. නමුත් අපිට ඒ වෙනකොටත් බිලියන පනස් හතක ඇයැදුම්පත් ලැබිලා තිබුණා. ඒ නිසා තමයි පළමු අදියරේදී අපිට බැංකුවල අයැදුම්පත් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණේ.

ඊට පස්සේ පසුගිය ජුනි තුන්වැනිදා රජය නැවත ප්‍රකාශ කළා මේ සහන මුදල රුපියල් බිලියන එකසිය පනහ දක්වා වැඩි කරන්න කියලා. ඒ අනුව දෙවැනි අදියර වශයෙන් රුපියල් බිලියන එකසිය පනහ සම්පූර්ණ කරන්න අපි උපයෝගී කරගත්තේ බැංකු සතුව තියෙන සංචිත. දැනට බැංකු සතුව ණය වශයෙන් ලබා නොදීපු රුපියල් බිලියන දෙදහක විතර සංචිත තියෙනවා. එම මුදලින් අයැදුම්කරුවන්ට ණය ලබා දීමටත්, එසේ නිකුත් කරන මුදල් වෙනුවෙන් මහ බැංකුවෙන් ණය රක්ෂණයක් ලබා දෙන්නත් දැන් අපි තීරණය කරළා තියෙනවා. මේ ණය රක්ෂණය හේතුවෙන් බැංකුවලට ණය ලබා දෙන්න කිසිම ගැටලුවක් නැහැ. ඒ අනුව බැංකු මගින් රුපියල් බිලියන අනූවක් ජනතාව අතට පත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.’’

එසේ පැවැසූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා දෙවැනි අදියරේ දී සියයට හතරක සහන පොලියට ණය ලබා ගැනීම සඳහා ලබන අගෝස්තු 31 වැනිදා දක්වා බැංකු වෙත අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

2020 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමක තිබූ නමුත් වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය යළි පණ ගැන්වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවද කීවේය.

වසර ආරම්භයේ දී 1.5%ක් ලෙස අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය වසර අවසානයේ කෙසේ වෙනස් වේදැයි තවමත් තක්සේරු කළ නොහැකි බවත් මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය. මීට අමතර නීති විරෝධී කල් බදු (ලීසිං) ආයතන පිළිබඳව සොයා බැලීමට පත් කළ මහ බැංකු කමිටුවේ නිර්දේශ මත අදාළ ආයතන සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට තවත් විශේෂ කමිටුවක් මහ බැංකුව විසින් පත් කළ බවද මෙහි දී සඳහන් විය.

නයන තරංග ගමගේ