News

සංචාරක වෘත්තිකයන්ට සහන දෙන්න කෝටි 1573 ක ඇස්තමේන්තුවක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ව්‍යාපාරයේ නියුතු වෘත්තිකයන් එක්ලක්ෂ හතළිස් දහස් හත්සිය දහතුනකට දීමනා සහ ණය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 15,733 ක් අවශ්‍ය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු කර ඇත.

මෙම මුදලින් රුපියල් මිලියන 65 ක් යෝජිත ලෝක බැංකු අරමුදලෙන් ලබාගැනීමට නියමිතය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව ඇති සංචාරක නියෝජිත කාර්ය මණ්ඩලවල එක් පුද්ගලයකුට මසකට රුපියල් 20,000 බැගින් මාස 6 ක කාලයක් වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් සියයට 4 ක පොලියට ණයක් ලබා දීමටද සැලසුම් කර තිබේ. සංචාරක හෝටල් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වල සේවකයෝ මෙම ගෙවීමට යටත් වෙති.

අවන් හල්, සංචාරක හිතකාමී ආහාර ගැනීමේ ස්ථාන, සම්භාහන සහ සුවතා මධ්‍යස්ථාන, කුළු බඩු උද්‍යාන, සංචාරක සාප්පු සහ ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුළුව අධිකාරියේ ලියාපදිංචි කර ඇති වෙනත් ආයතනවල සේවය කරන එක් පුද්ගලයකුට මසකට රුපියල් 15,000 බැගින් මාස 6 ක කාලයක් වැටුප් ගෙවීමටද ණය යෝජනාවලියක් සකස් කිරීමට සැලසුම් කර ඇත.

සංචාරක රියැදුරන් සඳහා එක් පුද්ගලයකුට රුපියල් 15,000 ක මුදලක් එක වරක් ලබාදීමටද නියමිතය. මෙම සහන සැලසීම සඳහා විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග ඇමැති මණ්ඩල සංදේශයක්ද යොමු කිරීමට සැලසුම් කර තිබේ. සංචාරක ව්‍යාපාරයේ නියුතු වෘත්තිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුතු ඒකනායක ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබුණි.

උදයජීව ඒකනායක