සෑම පාසලකටම සෞඛ්‍ය නිලධාරියෙක්
ජනවාරි 11 වැනිදා පාසල් විවෘත කළ පසුව අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙළක් ඉදිරි දින කීපය තුළ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (28 වැනිදා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මකවේදැයි නිරන්තරයෙන් සොයා බැලීම සඳහා විද්‍යාල කමිටුවක් සෑම පාසලකම පිහිටුවනු ලබයි. විදුහල්පතිවරයා, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා, ග්‍රාම නිලධාරීවරයා, පොලිස් ස්ථානාධිපතිවරයා, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්, පාසල් සංවර්ධන කමිටු නියෝජිතයෙක් මෙම විද්‍යාල කමිටුවට ඇතුළත් වේ. ඊට අමතරව සෑම පාසලකටම සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙක් පත්කරන අතර මෙම වැඩපිළිවෙළ සතුටුදායක ලෙස සිදු වෙනවාදැයි සොයා බැලීම ඔහුගේ වගකීමකි.
මෙම වැඩපිළිවෙළ මට්ටම් තුනකින් අධීක්ෂණය කෙරේ. කොට්ඨාස නිලධාරීන් පළමු මට්ටමේදීත්, දෙවනුව කලාප නිලධාරීන් සහ තෙවනුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්ද මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කරනු ලබයි.
01 සිට 05 වැනි ශ්‍රේණිය දක්වා පැවැත්වීමේදී ආරම්භයක් ලෙස ශිෂ්‍යයන් කොටසක් සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලද අනෙක් කොටස අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ගෙන්වීමටද තීරණය කර ඇත.
ජනවාරි 04 සහ 11 වැනිදා අතර සතිය ඇතුළත සෑම පාසලක් ආශ්‍රිතවම දෙමව්පියන් හා ගුරුවරුන් අතර ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී මෙම වැඩ පිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්වෙනවාද යන්න සාකච්ඡා කළ හැකි බවද ඇමැතිවරයා කීවේය.
සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳවද මෙම සතිය ඇතුළත ලංගම සහ පාසල් වෑන් රථ හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වලට යන දරුවන්ට තාවකාලිකව ළඟම පිහිටි පාසලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටද උත්සාහ කරන බව ඇමැතිවරයා කියයි.
දැනට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ එවැනි පහසුකම් සහිත තාවකාලිකව වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබේ.
වෛද්‍ය විශේෂඥයන්, සෞඛ්‍ය ඇමැතිවරිය සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා කර ජනවාරි 11 වැනිදා පාසල් විවෘත කරණ ආකාරය පිළිබඳ මෙම විශේෂ සැලැස්මක් සකස් කළ බව ජී.එල්. පීරිස් ඇමැතිවරයා කියයි. ගුරුවරුන්, දෙමව්පියන් සහ දරුවන්ගේ දැන ගැනීම සඳහා එම සැලැස්ම ඉදිරි දින කීපය ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
සියලුම පාසල්වලට සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1050 ක් යවා තිබේ. ශරීර උෂ්ණත්ව මාපක, අත් සෝදා ගැනීමේ දියර, සින්ක්, සබන් වැනි දෑ මේ උපකරණවලට අයත්වේ. ඊට අමතරව පාසලේ වටාපිටාව පිරිසුදු කිරීම, පන්ති කාමර විෂබීජහරණය කිරීම, අවශ්‍ය වුණොත් පාවිච්චි කිරීම සඳහා ගිලන් කාමරයක් සූදානම් කිරීම, පන්ති කාමරවල දොර ජනෙල් විවෘතකර තැබීම, ශිෂ්‍යයන් එක්ව ආහාර ගැනීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම, ඒ සඳහා දැනට ආපනශාලා විවෘත නොකිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක්ද සකස් කර ඇතැයි ඇමැතිවරයා කීවේය.
අජිත් අලහකෝන්
