සිරසට එරෙහි වාරණය යළි දීර්ඝ කරයි
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දීර්ඝ කර තිබේ.
අප අධිකරණ වාර්තාකරු පැවසුවේ කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය ජනවාරි 13 වනදා දක්වා දීර්ඝ කළ බවයි.
එම නඩුවට අදාළව ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද ? යන විමසීම සිදුකිරීම සඳහා එය කොළඹ දිසා විනිසුරු හෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (08) කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ මූලික විමසීම සිදුකළ කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඉදිරියේ එම නඩුව විමසීමට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවට මාරු කෙරුණි.
ඒ අනුව මෙම නඩුවේ අතුරු තහනම් නියෝගය පිළිබඳව විමසීම තමන් විසින් සිදු කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 13 වනදා දැනුම් දෙන බව කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ප්‍රකාශ කළේය.
එතෙක් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා නියෝග කළේය.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.
ඉකුත් නොවැම්බර් මස 11,13,16 සහ 19 යන දිනවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින් වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරු කියා සිටියේය.
මේ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදු වූ බව ඔවුන් පෙන්වාදෙයි.
ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.
