සීනි මුදලාලිලා ඇමතිට දුන් පොරොන්දු කඩලා
සීනි කිලෝග්‍රෑමයක් රුපියල් අසූව බැගින් ස.තො.ස ආයතනයට ලබාදීමට සීනි ආනයනකරුවන් ඇමැති බන්දුල ගුණවර්ධනට පෙරේදා (04 වැනිදා) පොරොන්දු වුවද, ටෙන්ඩර් කිරීමේ දී එක් ආනයනකරුවකු වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එලෙස ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ ආනයනකරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 121කට ලබාදීමට කැමැත්ත පළ කර තිබුණද වෙළෙඳ ඇමැතිවරයා සහ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ වෙතත් වෙළෙඳ ඇමැතිවරයා සීනි ආනයනකරුවන් සමග ඊයේ (05 වැනිදා) පස්වරුවේ සිදු කළ සාකච්ඡාවකින් පසු එක් ආනයනකරුවකු පමණක් රුපියල් 80ට සීනි මෙට්‍රික් ටොන් 500ක් ස.තො.ස ආයතනයට ලබා දී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය මත සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 85ක් හා කිලෝවක තොග මිල රුපියල් 80ක් ලෙස තීරණය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
එලෙස අවධානය යොමුව ඇත්තේ සීනි ආනයන බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා නොදීමට සීනි ආනයනකරුවන් කටයුතු කිරීම වැළැක්වීමටය.
2019 නොවැම්බර් මස පනවන ලද රුපියල් 50 ආනයන බද්ද පසුගිය සැප්තැම්බර් මස 13 වැනි දින ශත 25 දක්වා අඩු කරමින් ආනයන බදු සහනයක් රජය විසින් ලබා දෙන ලදී. එම බදු සහනය මත සීනි රුපියල් 85ට අලෙවි කළ යුතු බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේය. එහෙත් එම සහනය පාරිභෝගික ජනතාවට මෙතෙක් නොලැබීම පිළිබඳව ජනාධිපති කාර්යාලයටද පැමිණිලි ලැබී ඇත. කෙසේ වෙතත් මෙම බදු සහනය මත ආනයනය කරන ලද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 80 බැගින් මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් බව ඇමැති බන්දුල ගුණවර්ධන සීනි ආනයනකරුවන්ට පෙරේදා (04 වැනිදා) දැනුම් දෙන ලදී. සීනි ආනයනකරුවන් ඊට එකඟතාව පළ කළහ.
කෙසේ වෙතත් ලංකා ස.තො.ස. මගින් සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85 බැගින් අලෙවි කරමින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට සූදානම් වුවද ආනයනකරුවන් ටෙන්ඩරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් එයද අසාර්ථක වී ඇත.
සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට රජය පියවර ගන්නා විට සීනි ආනයනකරුවන් 12 දෙනකු ආනයනය කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 88000ක් මෙරට ගබඩා කර තිබිණි. නමුත් ආනයන බදු අඩු කිරීමත් සමග එක් ආනයනකරුවකු බදු සහනය පදනම් කර ගනිමින් වරායේ ගුදම්වල රඳවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 8837ක් දේශීය වෙළෙඳ පොළට නිකුත් කරන ලද බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් ආනයනකරුවන් බදු සහනයද ලබා ගනිමින් පිටකොටුව තොග වෙළෙඳුන්ට සීනි තොග අලෙවි කිරීමේ දී කිලෝග්‍රෑමයක් රුපියල් 123කට අලෙවි කර තිබෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත.
සීනි ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ ලෝක වෙළෙඳපොළේ ද සීනි මිල වැඩි වී ඇති බවයි. පසුගිය මාසයේ දී සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 380ක් වූ අතර එම මිල ඊයේ (05 වැනිදා) වන විට ඇමරිකා ඩොලර් 445 දක්වා ඉහළ ගොස් තිබිණි. සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 84 කට වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව තිබූ බවද සීනි ආනයනකරුවෝ ප්‍රකාශ කරති. එහෙත් රජය විසින් යළි සීනි සඳහා ආනයන බද්ද පැනවීමේ සූදානමක් ඇති බව සීනි ආනයනකරුවන් ප්‍රකාශ කරන අතර එහි දී බදු සීමාව රුපියල් 40 මට්ටමේ පවත්වාගෙන යා යුතු බවද පෙන්වා දෙති. එසේ නොවී බදු සීමාව වැඩි කළහොත් සීනි කිලෝග්‍රෑමයක මිල යළි රුපියල් 150 දක්වා වැඩි විය හැකි බව ආනයනකරුවෝ අනතුරු අඟවති.
ශ්‍රී ලංකාවේ සීනි මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් හතළිස්දහසකි. මේ වන විට මාස තුනකට ප්‍රමාණවත් සීනි තොග මෙරටට ආනයනය කර තිබේ.
උදයජීව ඒකනායක
