News

සුව ඇමැතිනියගේ නම විකුණා ජනතාව මුළා කළ කතට වැඩ වැරදේ

 

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ඥාතිවරියක බව පවසා රජයේ රෝහල්වල සෞඛ්‍ය සේවා සහායක රැකියා ලබා දෙන බවට පොරොන්දුවී මහජනතාව රවටා මුදල් ලබාගත් කාන්තාවක ඊයේ (05 වැනිදා) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන ඇය මෙම ජාවාරම සිදු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනවලින් පසු එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ දී ව්‍යාජ රැකියා අයැදුම්පත් තොගයක්, බැංකු කාඩ්පත් කිහිපයක් එම කාන්තාව සන්තකයේ තිබී ඇත.

59 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බව හෙළිවී ඇතැයිද පොලිසිය පැවැසීය.

වැලිකන්ද, වාලච්චේන, මඩකළපුව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. එසේ ලබාගත් මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව සැකකාරිය පොලිසියට ප්‍රකාශකර ඇත.වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

කේ.ජී. කරුණාරත්න – තමන්කඩුව