හමුදා පාලනයෙන් පරිපාලන සේවය බේරාගත යුතුයි-රනිල්
හමුදා පරිපාලනයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවය බේරා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවැති සාකච්ඡාවකින් පසු හෙතෙම මේ බව කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසුවේය.
‘‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කළා. මැතිවරණය සිදුකරන ආකාරය පිළිබඳව එම කොමිසම නියෝග නිකුත් කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ රැස්වීමකටත් නියෝග නිකුත් කළා.
ස්වාධීන පොලිස් කොමිසමක්ද ස්ථාපිත කළා. පොලිසියේ විවිධ තනතුරුවලට තමන් කැමැති අය පත්කරන්න බැහැ. මේවා දේශපාලන මැදිහත්වීම්වලින් ආරක්ෂා කරගත යුතුයි. අපේ කාලයේ දේශපාලන බලපෑම් එල්ල නොවී ආරක්ෂා කර ගත්තා. නමුත් වර්තමානයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට විවිධ බලපෑම් එල්ල වෙනවා. බොරු චෝදනා ගොනු කරනවා. ඒ ඡන්දයට බලපෑම් කිරීමටයි. මහ මැතිවරණය පවත්වන්න හැදුවේ ජුනි මාසයේ. කෙරෝනා නිසා එය වැළැක්වුණා. නමුත් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි.
පොලිස් කොමිසමේ අනුමැතියකින් තොරව ඇතැම් පොලිස් නිලධාරීන් මාරුකර තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරි වෙනුවෙන් හමුදා නිලධාරීන් යොදවා තිබෙනවා. පොලිසියට රාජකාරි භාරදිය යුතුයි. දේශපාලනීකරණය කරලා, ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ඝාතනය කළා. නිදහස් චතුරස්රයේදී මළසිරුරක් හමුවුණා. එය දිවි නසා ගැනීමක් කියලා කියනවා. නමුත් කුමක්ද වුණේ කියලා මෙතෙක් අනාවරණය වී නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් එදින පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
රාජ්‍ය පරිපාලන සේවයට හමුදා නිලධාරීන් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දක්ෂ රණවිරුවන් සිටිනවා. ඔවුන් හොඳ සටන්කාමීන්. ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් යුද්ධයට ඉදිරිපත් කළොත් මොකද වෙන්නෙ? ඔවුන් පරිපාලන කටයුතු සිදුකිරීමට දක්ෂයි. රණවිරුවන් යුද්ධ කිරීමට දක්ෂයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා තවත් හමුදා බළඇණි යවන්න පුළුවන්.
අපේ රටේ රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ට නිදහසක් තිබිය යුතුයි. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දියවෙලා යනවා. එම අයිතිවාසිකම් ආරක්ෂා කළ හැක්කේ අගෝස්තු 05 වැනිදා නිවැරදිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණයි’’
උදයජීව ඒකනායක
