හැකියාව තිබියදීත් සහරාන් අත්අඩංගුවට ගැනීම කාත්තන්කුඩි පොලිසිය පැහැර හැරලා
අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරු මොහොමඞ් රිල්වාන් ඇතුළු සිවුදෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී කාත්තන්කුඩි පොලිසිය විසින් එය නොසලකා හැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී අනාවරණය විය
කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 19 වැනිදා ලබාදුන් සාක්කි දුන් අවස්ථාවේ මේ බව අනාවරණය විය.
2017 මාර්තු 10 වන දින කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී සහරාන් හෂීම් සහ රවුෆ් මවුලවී යන ජාතික තව්හිද් ජමාත් සහ සුන්නතුල් අල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් සිදුවූ බවත් එහිදී කඩු කිණිසි සහ පෙට්‍රල් බෝම්බවලින් පහරදීම සම්බන්ධයෙන් නව දෙනෙක් අත්අඩංගුවට ගත්තද සහරාන් හෂීම්, මොහොමඞ් රිල්වාන්, ආමි මොහොමඩ්, යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
තමන් සේවයට වාර්තා කරන විටත් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවතියත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සහරාන් ඇතුළු පිරිස අත්ඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද ඔහු සඳහන් කළේය.
එහිදී කොමිසම ඔහුගෙන් විමසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්ද යන්නයි.
සාක්ෂිකරු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව නොලැබී තිබූ නිසා පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබාගැනීමට නොහැකි වූ බවය.
ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළේ දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේදී සාකකිකරු සඳහන් කළේ ඒ පිළිබඳ මතකයක් තමන්ට නැති බවය.
මෙම අවස්ථාවේදී අධිකරණ වාර්තා පිරික්සූ ජනාධිපති කොමිසම පැවසුවෙ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරි මාසයේ 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නය.
තමන් ඒ ගැන නොදන්නා බව පැවසූ සාක්කිකරු ඒ නිසාම වරෙන්තු ලබා ගැනීමක් සිදු නොකළ බවද සඳහන් කළේය.
කොමිසම එහිදී පෙන්වා දුන්නේ, සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත බවය.
මාරක ආයුධ ඇතිව නීති විරෝධී රැස්වීමකට සහභාගි වීම , මාරක ආයුධ ඇතිව කැරලි ගැසීම,කැරලි ගැසීමේ අවස්ථාව මැඩපැවැත්වීමේදී රජයේ නිලධාරියෙකුට බාධා කිරීම, ස්වෙච්ඡාවෙන් තුවාල සිදුකිරීම, අන්තරාදායක ආයුධ හා උපක්‍රම භාවිත කරමින් තුවාල කිරීම යන මෙම වරදවල් වරෙන්තුවක් නොමැතිව අත්ඩංගුවට ගත හැකි වැරදි ලෙස බී වාර්තාවේ අන්තර්ගත බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමට අවධාරණය කාළාය.
වරුණි පෙරමුණ
