හොර ලීසිං සමාගම් වසා දමන්න
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන යන කල්බදු (ලීසිං) සමාගම් වසා දමන ලෙස බැංකු නොවන මූල්‍ය සමාගම් සම්බන්ධ ගැටලු සොයා බැලීම සඳහා පත්කළ කමිටු නිර්දේශ කර තිබේ.
යම් හේතුන් මත එම සමාගම් වසා දැමීමේ හැකියාවක් නොමැති නම් ඒවා මහ බැංකුව යටතේ නිශ්චිත ප්‍රමිතීන්ට යටත්ව ලියාපදිංචි කරන ලෙසද එම කමිටුව නිර්දේශ කර ඇත.
මෙම කමිටුවේ අවසන් වාර්තාව පසුගිය 07 වැනිදා (පෙරේදා) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් වෙත භාර දුන්නේය.නීති විරෝධී කල්බදු (ලීසිං) ආයතනවලින් ජනතාව පීඩාවට පත්වන බවට පැමිණිලි ලැබීම නිසා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහ බැංකු අධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරිණි.
කමිටුව විසින් නීති විරෝධී කල්බදු සමාගම් සම්බන්ධයෙන් කෙටි කාලීන හා දීර්ඝකාලීන නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර අදාළ සමාගම් වසා දැමීම හෝ ලියාපදිංචි කිරීමට යෝජනා කර ඇත්තේ කෙටිකාලීන විසඳුම් වශයෙනි. මීට අමතරව වාරික නොගෙවීම මත ලීසිං පහසුකම් ලබාගත් පාරිභෝගිකයන්ගේ දේපළ හෝ වාහන නැවත පවරා ගැනීම සඳහා සමාගම් විසින් බලය යෙදවීම තහනම් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙම කමිටුව මහ බැංකුවට නිර්දේශ කර තිබේ.
මෙම කමිටුවේ සමාජික ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්යක්ෂ සිරිකුමාර කුඩාගම සඳහන් කරන්නේ කල්බදු සමාගම්වල සියලුම ගිණුම් ‘සාධාරණ බව’ සහතික කෙරෙන විශේෂ කොන්දේසි ඇතුළත් කිරීමට මහ බැංකුව විසින් නියෝග නිකුත් කළයුතු බවටද සිය කමිටුව නිර්දේශ කර ඇති බවයි. මෙම ගිවිසුම් බොහොමයක් ඒකපාර්ශ්වීය වන බව හා ඒවා ලීසිං සමාගමට පමණක් අනුග්‍රහය දක්වන බව තම කමිටුවට ලැබුණු පෞද්ගලික පැමිණිලි බහුතරයක සඳහන්ව ඇති බවත් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
මෙම ගැටලුවලට දීර්ඝකාලීන විසඳුම් වශයෙන් මූල්‍ය හා කල්බදු පනත සංශෝධනය කිරීමටද මහ බැංකු කමිටුව වැඩිදුරටත් යෝජනා කර ඇත.
නයන තරංග ගමගේ
