අතුරුදන් වූවන්ගේ පවුලකට රුපියල් 6000 ක්. අධ්‍යාපනය ලබන දරුවෙකුට රුපියල් 2000 ක්.
අතුරුදන් වූවන්ගේ පවුලක් සඳහා රුපියල් 6000 ක මාසික දීමනාවක් ද, එවැනි පවුලක උසස් අධ්‍යාපනය ලබන දරුවකු වෙනුවෙන් රුපියල් 2000 ක මාසික දීමනාවක් ද ගෙවීම සඳහා ජනාධිපතිවරයා පොරොන්දු වූ බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ‘අරුණ’ට පැවසුවාය.
ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වී ඇත්තේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාවේ සඳහන් වූ ‘නිර්දේශ’ පිළිගනිමිනි. කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම යෝජනා 2019 අයවැය කමිටුව වෙත කඩිනමින් භාර දෙන බවත්, ඒ අනුව 2019 ජනවාරි මාසයේ සිටම ‘දීමනා’ ලබාදීමට කටයුතු කරන බවත් ය.
ඊට අමතරව ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ ණය ලබාදීමේ දී සහ ආණ්ඩුවේ ‘නිවාස ව්‍යාපෘති’ යටතේ නිවාස ලබාදීමේ දී ද අතුරුදන් වුවන්ගේ පවුල් ‘වෙනම කාණ්ඩයක්’ සේ සලකා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිර්දේශ කර ඇත. එමෙන් ම විදේශ රැකියා ලබාදීමේ දී අතුරුදන්වූවන්ගේ පවුල් වලට 1% ක ‘විශේෂ කෝටාවක්’ ද ලබාදිය යුතු බව එහි සඳහන් ය.
අතුරුදන් වූවන්ගේ කාර්යාලය මඟින් මේ වන විට අතුරුදන් වූවන් 13,000 කගේ නාමලේඛනයක් පිළියෙල කර ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ක්‍රියාන්විතයේ දී අතුරුදන්වූ හමුදා නිලධාරින් 5000 කගේ නාමලේඛනයක් පිළියෙල කොට ඇත. මීට අමතරව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් 1980 -90 දශකය තුළ අතුරුදන්වූවන් 3000කගේ නාමලේඛනයක් සකස් කොට ඇත.
ඒ අනුව 1980 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 21000 ක් පමණ වන බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවාය.
සුරේඛා සමරසේන