අන්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවට බොදු බල සේනා සංවිධානය තහනම විහිළුවක්
අන්තවාදය රටෙන් මුලිනුපුටා දැමීම වෙනුවට බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට නිර්දේශ කිරීම අතිශයින්ම විහිළුවක් බවත්, පාස්කු කොමිසම් වාර්තාවේ ඇතැම් නිර්දේශ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් අපේ ජනබල පක්ෂය පවසයි.
බොදුබල සේනා සංවිධානය මෙරට ආරම්භ කිරීමට හේතුව වුවේද අන්තවාදයට එරෙහි වීමටත් සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමටත් බැවින් තහනම් කළ යුත්තේ අන්තවාදය මිස, මෙම සංවිධානය නොවන බවත් අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ලේකම් හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියෝ පවසති. මෙම පාස්කු ප්‍රහාරය අහම්බෙන් සිදුවූ හුදෙකලා සිදුවීමක් බවට ඒත්තු ගැන්වීමට බොහෝ දෙනා සූදානම්ව සිටියත් මෙය සිදුවූයේ දීර්ඝකාලීන සැලැස්මක කොටසක් බවත් උන්වහන්සේ කියා සිටිති.
උන්වහන්සේ මෙලෙස පවසා සිටියේ බත්තරමුල්ලේ පිහිටි අපේ ජන බල පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (25 වැනිදා) සහභාගි වූ අවස්ථාවේදීය. මෙහිදී අදහස් දක්වා සිටි හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියෝ මෙසේද පවසා සිටියහ.
‘රජය තමන්ගේ වගකීම ඉටුකළේ නැති නිසයි බොදු බල සේනා සංවිධානය පිහිටුවා ගත්තේ. රජයට වගකීමක් තියෙනවා. මේ රටේ සිංහල බෞද්ධයන්ගේ උරුමය ආරක්ෂා කරන්න. අනෙක් ජාතීන්ද අපේ රටේ ජීවත්වන්න අවශ්‍යයි. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න ගිහින් අපේ අයිතිවාසිකම් අහිමි කර ගන්න බැහැ. අන්තවාදයට හේතු වුණ කරුණු ගවේෂණය කර අන්තවාදය නැතිකරන්නයි අවශ්‍යය. රජයේ වගකීම වන්නේ එයයි. හිටපු ජනාධිපතිවරයාට පාස්කු ප්‍රහාරය පිළිබඳව චෝදනා එල්ල වෙනවා. ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඔහු ඇතුළු ජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීම පැහැර හැරිය සියලු නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙම කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී එය දේශපාලන සූදුවක් කරගන්න සමහරු හදනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙය සිදුවෙන්න දෙන්න එපා කියලා.
අශිකා ජයවීර