News

අනුමැතිය නැතිව සේවකයන්ට ලොකු පඩි ගෙවූ ICTA

තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) කාර්ය මණ්ඩලයට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ හෝ ඇමැති මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉහළ වැටුප් හා දීමනා ගෙවන බව කෝප් කමිටුව පෙරේදා (10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

මෙම ආයතනයේ සිටින සියලුම නිලධාරීන් කොන්ත්‍රාත් පදනම යතේ බඳවාගත් අය බවද ආයතනය සඳහා අනුමත කාර්ය මණ්ඩලයක් හෝ බඳවා ගැනීමේ පටිපාටියක් ඊට නොමැති බවද කෝප් වාර්තාවේ දැක්වේ.

කොන්ත්‍රාත් පදනම මත සිටින නිලධාරීන් නිතර වෙනස් වීම නිසා ඔවුන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකීම් දැරීමටද ආයතනය තුළ පුද්ගලයකු නොමැති බව කෝප් කමිටු වාර්තාවේ දැක්වේ.

2017 වසරේදී රුපියල් විසි හත්ලක්ෂ තිස් හත් දහසක් වැය කර ආයතනික සැලැස්මක් සකස් කර තිබේ. එහෙත් එම සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ක්‍රියාත්මක කර නැතියිද වාර්තාවේ සඳහන්ව තිබේ.

අධික පිරිවැයක් දරමින් ආයතනය ආරම්භ කළ ව්‍යාපෘති 22ක් අතර මැද නතර කර ඇති බවද ඇතැම් ව්‍යාපෘතිවල කාර්ය සාධනය පහළ මට්ටමක තිබෙන බවද කෝප් කමිටුව නිරීක්ෂණය කර ඇත.

ආයතනය ක්‍රියාත්මක වන්නේ රජයේ ඒකාබද්ධ අරමුදල යටතේය. එහෙත් රජයේ මූල්‍ය රෙගුලාසි හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක නොවීම සම්බන්ධවද කෝප් කමිටුවේ අවධානය යොමුකර තිබේ.

ගූගල් ලූන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් ආරම්භ කළ පසුව අසාර්ථක වූ ව්‍යාපෘතියක් බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.

මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වය යටතේ පවතින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව වන මෙය පෙරේදා (10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අජිත් අලහකෝන්