News

ආණමඩුව – හලාවත මාර්ගයේ රතඹලාඔයට වසරක කාලයක් කහ පටි

ආණමඩුව – හලාවත මාර්ගය සේරුකැලේ ප්‍රදේශය “රතඹලාඔයට” ආසන්නයෙන් කැඩී හානියට පත්ව වසර කාලයක් ගත වී ඇතත් එම ස්ථානය පිළිසකර කිරීමට වගකිව යුතු කිසිවෙකුත් මෙතෙක් පියවරක් ගෙන නැත.

පසුගිය වසරේ මැයි මාසයේදී ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් “රතඹලාඔය” පිටාර ගලා ගියේය.එම අවස්ථාවේදී ආණමඩුව – හලාවත ප්‍රධාන මාර්ගයට බරපතල හනි සිදු විය.රතඹලාඔය ආසන්නයෙන්ම මාර්ගය ආරක්ෂා කර ගැනීම සදහා යොදා තිබූ ගල් වැටි ගලවා ගෙන ගිය අතර, ඒ ආසන්නයෙන් ඇති පාලම් කැඩී හානියට පත් විය.

අද මෙම ස්ථාන දක්නට ඇත්තේ දැවැන්ත ආගාධයන් ලෙසය.මෙම ආගාධයන්ට වැටී විවිධ අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරුදායක තත්ත්වය පෙන්වන “කහ පැහැති පටි” පමණක් එම ස්ථාන වල යොදා ඇති බවක් දක්නට ඇත.

මෙම මාර්ගයට හානි සිදුවී වසරක් ගෙවී ගියත් එය පිළිසකර කිරීමට වගකිව යුතු කිසිවෙකු කටයුතු නොකිරීම කනගාටුදායක බව ප්‍රදේශවාසීන් කියති. එමෙන්ම ඉදිරියේදී වැසි ලැබී නැවතත් රතඹලාඔය පිටාර ගලා ගියහොත් ආණමඩුව – හලාවත මාර්ගයට බරපතල හානි සිදුවී ගමනා ගමනයට පවා බාධා ඇති විය හැකි බවද ඔවුන් කියා සිටී.

ජුඩ් සමන්ත