News

ආනයනික බහලුම් ප්‍රමාද කර මුදාහැරීමේ සැලසුමක්

විශාල පරිමාණ බහලුම් සමාගම්වල අවශ්‍යතාවන් මත රේගු නිලධාරීන් විසින් සුළු පරිමාණයෙන් බහලුම්කරුවන්ගේ බහලුම් මුදාහැරීම ප්‍රමාද කරමින් දින ගණනාවක් තබා ගැනීම නිසා ඔවුන්ට විශාල ප්‍රමාද ගාස්තුවක් ‌රේගුවට ගෙවීමට සිදු වී ඇති බව වාර්තා වේ.

තහනම් භාණ්ඩ ඇතිදැයි කියමින් ඒවා පරීක්ෂා කරන මුත් මහා පරිමාණයෙන් ආනයනය කරන සමාගම්වල අංගණවලට ගොස් පරීක්ෂා කරන බහලුම්වල ඇති තහනම් භාණ්ඩ මුදාහරින බව සුළු පරිමාණ බහලුම් හිමියෝ පවසති.

බහලුමක් රේගුවට පැමිණ දින තුනක් ඇතුළත පරීක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වයන් මතු නොවන අතර ඇතැමුන්ට රුපියල් ලක්ෂ ගණනින් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබේ. මෙසේ වැඩි බහලුම් ප්‍රමාණයක් එවා ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් බව වාර්තා වේ. පරීක්ෂා කිරීමේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එහි රේගුවේ ඇතැමුන්ට අත යට මුදල් පවා දීමට සිදුවී ඇති බව සුළු පරිමාණ බහාලුම් ආනයනකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත් රවිප්‍රිය (විශ්‍රාමික) ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ වෙනත් භාණ්ඩ තුළ සඟවා ටයර් ඇතුළු තහනම් භාණ්ඩ ආනයනය ඉහළ ගොස් ඇති බැවින් ආනයනික බහාලුම් දැඩි ලෙස පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බවයි.
කුරක්කන්, උඳු සහ කහ ආදී ආහාර ද්‍රව්‍යද, මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ආදියද ආනයනය කරන බැවින් මෙම බහලුම් දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස රේගු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු කීවේය. ඉකුත් සතියේදී ටයර් 700ක් සහිත බහලුමක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

බහාලුම් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන නිසා බහාලුම් රේගුවෙන් නිදහස් කිරීමේ කටයුතු ප්‍රමාද වන බවත්, තහනම් භාණ්ඩ රහිත බහාලුම් පිට කිරීමේදී බිම් කුලී ගාස්තුව අඩු කිරීමට රේගුව අවස්ථාව සලසන බවද ඔහු කීවේය.

තහනම් ආනයනික භාණ්ඩ සහිත බවට සැක සහිත බහලුම් 20ක් පමණ රේගු අංගණවල මේ දිනවල පරීක්ෂාවට ලක් කෙරෙන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
ආනයනික බහාලුම් පරීක්ෂා කිරීම සඳහා රේගු අංගණවල තිබෙන ඉඩකඩ සීමා සහිත බැවින් කෙරවලපිටිය ප්‍රදේශයේ අක්කර 20ක භූමි ප්‍රදේශයක බහාලුම් පරීක්ෂා කරන අංගණයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, එය සීසීටීවී කැමරා සහිතව සකස් කරන බවද ඔහු සඳහන් කළේය. මේ නිසා ඔරුගොඩවත්ත ප්‍රදේශය ආශ්‍රිතව පවතින රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන බවත්, කඩිනමින් බහලුම් පරීක්ෂා කිරීමට අවස්ථාව සැලසෙන බවද ඔහු කී‍වේය.

සාලිය කුමාර ගුණසේකර