News

ඉදිරියේදීත් වැසි තත්ත්වය වැඩි වෙයි

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් (විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා) සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද, වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.