News

කොවිඩ් දේහ වළදැමීමට විරුද්ධව ඉරණතිව්හි විරෝධතා

කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණමාතා ප්‍රදේශය වන අතර ඉරණමාතා ගම්මානයේ කතොලික පියතුමන්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ගම්වාසීන් එක්ව අද දින මෙලෙස විරෝධතාවය සංවිධානය කොට තිබේ.

යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පවසයි.

යුද්ධයෙන් පසුව 2017 වසරේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට පැමිණි වැසියන්ගෙන් මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු ජීවත්ව සිටින බවටත් එහි සිටින කිසිදු වැසියෙකු මේ වනතුරුත් කොරෝනා ආසාදිත හෝ බලපෑමකට ලක්ව නොමැති අවස්ථාවක කොරෝනා මළ සිරුරු දූපතේ වළ දැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන් දැඩි අවදානමකට ලක් විය හැකි බැවින් එම මළ සිරුරු දූපතේ වළ දැමීමේ තීරණය වහාම නතර කළ යුතු බවට ප්‍රදේශවාසීහු පවසයි.

මේ අතර කොරෝණා සිරුරු වලදැමීමට යැයි හාරන ලද සැකසහිත වලවල් කිහිපයක් ඉරණතිව් වැසියන් පිරිසක් විසින් වසා දැමීමට ද පියවර ගෙන තිබුණි.