News

ඉලංගෙයි තමිල්අරසුකච්චි සහයෝගය සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළකරන බවට ඒකමතිකව තීරණය කළැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ඊයේ (03 වැනිදා) පැවසීය.

ජනාධිපතිවරණයේදී සහයෝගය පළ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව ඊයේ වව්නියාව වන්නින් හෝටලයේ දී රැස්වී තිබේ. එම සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව සුමන්තිරන් සඳහන් කළේය.

සුමන්තිරන් මේ බව පැවසුවේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණය දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මෙසේද කීය.
අද දින අපි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව උදෑසන සිට සාකච්ඡා කළා. අප ඒකමතිකව තීරණය කළා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරන බවට. මෙම තීරණය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණයක් පමණයි. අප සන්ධානයක්. නමුත් තව පක්ෂ දෙකක් තිබෙනවා. එය දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාට භාරදී තිබෙනවා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කොට තීරණයකට එළෙඹෙන්නට.

ද්‍රවිඩ ප්‍රධාන පක්ෂ කිහිපයකට ඉදිරිපත්ව තිබෙන ඉල්ලීම පිළිබඳ අපි කිසිදු දෙයක් සාකච්ඡා කළේ නැහැ. එය වෙනත් කටයුත්තක්. අපේක්ෂකයන් කාටවත් අප එය ඉදිරිපත් කළේ නැහැ. එම කරුණු 13 පිළිබඳ මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමග හැමදෙනාම කිව්වා අපි එය බලන්නෙවත් නැහැ කියා. ඒ උත්සාහයට ප්‍රථමව අපේ පක්ෂය දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වූවා.

අපි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම මැතිවරණ ප්‍රකාශන හොඳින් නිරීක්ෂණය කළා එයත් සමගයි මේ පසුබිම සාකච්ඡා කළේ. එතැනින් තමයි අප තීරණය කළේ කාටද සහයෝගය දක්වන්නේ කියා.

ජනාධිපතිවරණයේදී සහය දැක්විය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න දෙමළ පක්ෂ හයක් සමග සාකච්ඡා පැවැත්වූවා. නමුත් එක් පක්ෂයක් ඉවත්ව ගියා. තව පක්ෂයක් වෙනත් ප්‍රකාශනයකුත් ඉදිරිපත් කළා ජනාධිපති අපේක්ෂකයන්ට ලබාදිය යුතු බවට සඳහන් කරමින්. එම නිසා අප ඒ පිළිබඳ තැකීමක් කළේ නැහැ. අප දෙමළ ජාතික සන්ධානය ලෙස මේ තීරණය ගත යුතුයි. නමුත් අද ගනු ලැබුවේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ තීරණය පමණයි.

එක එක පක්ෂයක තීරණය ලබාගෙන තමයි එකඟතාවට එන්න පුළුවන් කියා අවසන් වශයෙන් කිව යුතුයි. අපි දෙමළ ජාතික සන්ධාන පක්ෂ ඔක්කොම එකට ඉඳගෙන තීරණය කරන්න අපහසුයි. ඒ නිසා අපි අද මේ තීරණය අරගෙන තිබෙන්නේ ඉදිරියේදී ආර්. සම්බන්ධන් මහතා තීරණයට හේතු දක්වයි. එතකොට ඔබලාට බලාගන්න පුළුවන්’’ යැයි සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.

මාධව කුලසූරිය -වව්නියාව