News

එජාප මන්ත්‍රීහු 4 විනය කමිටුවට පිටුපාති

එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකු නොපැමිණීම නිසා විනය පරීක්ෂණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරුලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ, අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ විනය කමිටුව හමුවට කැඳවා තිබුණි.

විනය කමිටුව හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහට නිදහසට කරුණු සඳහන් කර පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාට ලිපි යොමු කළ බවත් වාචිකව පිළිතුරු සැපයීමෙන් වැළකී සිටින බව ඔවුහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂට පසුගිය සිකුරාදා (30දා) විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතත් ඔවුන්ද පෙනී සිටියේ නැත. තමන්ට ලිඛිතව හෝ වාචිකව විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට පක්ෂය දැනුම් දී නොමැති බව එම මන්ත්‍රීවරුන් දෙදෙනා පවසති.

විනය කමිටුව හමුවේ පෙනී නොසිටි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඉදිරියේදී කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පවසයි.

උදයජීව ඒකනායක