එම්.සී.සී. සහ සෝෆා ගිවිසුම් පිළිබද රජයේ ස්ථාවරය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
ශ්‍රී ලංකා රජය හා අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අතර අත්සන් කිරීමට සැලසුම් කර තිබූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි, නීතිපතිවරයා අද (22)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළාය.
එමෙන්ම අමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැන්වූවාය.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය දැනුම් දුන්නේ, එම ගිවිසුම් 3 අත්සන් කළහොත් රජයේ ස්වෛරිභාවයට හා ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බැවින් ඒවා අත්සන් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා පූජ්‍ය අඟුණුගල්ලේ ජිනාන්ද හිමියන් නීතිඥ දර්ශන වේරදුවගේ සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව එම පෙත්සම් ජුලි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.